Search

මෙවර ශූරයන්ගේ කුසලානයේ හිමිකරු ඉන්දියාවද? නවසීලන්තයද?

ශූරයන්ගේ කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (09) පැවැත්වෙනවා.

ඉන්දියාව සහ නවසීලන්තය අතර පැවැත්වෙන අවසන් මහා තරඟය මෙල්බන් වේලාවෙන් රාත්‍රී 8.00 ට ආරම්භ වීමට නියමිතයි.

ඉන්දියාව සහ නවසීලන්තය යන රටවල් දෙකම ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය මෙතෙක් සංවිධනය කළ ප්‍රධාන තරගාවලි රැසකදීම අවසන් මහා තරගයට සුදුසුකම් ලබා තිබෙනවා.

1998 වර්ෂයේදී ආරම්භ වූ ශූරයන්ගේ කුසලාන ක්‍රිකට් තරඟාවලි ඉතිහාසය තුළ ඉන්දීය කණ්ඩායම අවස්ථා දෙකකදී ශූරතාවය දිනාගෙන තිබෙනවා.

ඒ අනුව 2002 දී ශ්‍රී ලංකාව සමඟ ශූරයන්ගේ කුසලානයේ සම ශූරතාවය දිනූ ඉන්දියාව 2013 වසරේදී එංගලන්ත කණ්ඩායම පරදා ශූරයන්ගේ කුසලානය තමන් සතු කර ගැනීමට සමත් වුණා.

නවසීලන්ත කණ්ඩායම ද 1998/1999 කාල සීමාවේදී පැවති ශූරයන්ගේ කුසලාන තරගාවලියේ ශූරතාවය දිනා ගැනීමට සමත් වී තිබෙනවා.

එවකට ICC KnockOut Cup ලෙස හැදින්වූ එම තරගාවලියේදී ප්‍රබල ඉන්දීය කණ්ඩායම පරදා ශූරතාවය දින ගැනීමට නවසීලන්තය සමත් වී තිබීමද විශේෂත්වයක්.

ශූරයන්ගේ කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය සඳහා නවසීලන්ත කණ්ඩායම අවස්ථා දෙකක දී මෙන්ම ඉන්දීය කණ්ඩායම අවස්ථා 04 ක දී සුදුසුකම් ලබා තිබෙනවා.

ඉන්දීය කණ්ඩායම අවසන් වරට ශූරයන්ගේ කුසලාන අවසන් මහා තරගයකට සුදුසුකම් ලැබුවේ 2017 වසරේදී වන අතර එහිදී ඔවුන්ට පකිස්තාන කණ්ඩායම හමුවේ ලකුණු 180 ක දැවැන්ත පරාජයක් උරුම කර ගැනීමට සිදුවුණා.

අවසන් මහා තරගවලට මුහුණ දීම හා එම කඩයිම ජයගැනීම අතින් ඉන්දීය කණ්ඩායම නවසීලන්තයට සාපේක්ෂව ඉදිරියෙන් සිටින බවයි ක්‍රීඩා විචාරකයන්ගේ අදහස වී ඇත්තේ.

කෙසේ වෙතත් කණ්ඩායම් දෙක අතර අවසන් මහා තරගයේදී තියුණු තරගයක් දැකගත හැකි වනු ඇති.