
රුසියා – යුක්‍රේන යුද්ධයේදී ඇමෙරිකාව යුක්‍රේනයට මෙතෙක් ලබාදුන් බුද්ධි තොරතුරු හුවමාරුව මේ වනවිට නවතා දැමීමට ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තීරණය කර තිබෙනවා.
මේ බව තහවුරු කරමින් අමෙරිකානු ජාතික ආරක්ෂක උපදේශක මයික් වෝට්ස් ඊයේ ප්‍රකාශ කර සිටියේ යුක්‍රේනය සමඟ අදාළ බුද්ධි තොරතුරු හුවමාරුව තවදුරටත් නවතා දමන ලද බවයි.
ඒ අනුව, යුක්‍රේනය මුහුණදෙන ප්‍රධානතම ගැටලුව වන්නේ යුද භූමියේ ඉදිරි සැලසුම් ක්‍රියාත්මක කිරීමේදි නිසි තොරතුරු ඔවුන්ට නොලැබී යාමයි.

කියෙව් නගරය සමග බුද්ධි තොරතුරු හුවමාරුවට විරාමයක් තබන බව අමෙරිකානු මධ්‍යම බුද්ධි ඒජන්සියේ අධ්‍යක්ෂ ජෝන් රැට්ක්ලීෆ් තහවුරු කර සිටිනවා.
විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරයා සහ යුක්‍රේන ජනාධිපති ව්ලොදමීර් සෙලෙන්ස්කි අතර පසුගියදා පැවති සාකච්ඡාවලදි හටගත් ගැටළුකාරී තත්වය මීට හේතුවී ඇති බවයි.

2022 වසරේ යුද්ධය ආරම්භයේදි රුසියාව යම් පසුබෑමකට ලක්වූයේ අමෙරිකාව විසින් ලබාදුන් බුද්ධි තොරතුරු මත සහ යුරෝපයේ අනෙක් රටවල සහයෝගය සහිතව යුක්‍රේන යුද මෙහෙයුම් ක්‍රියාත්මක කිරීම නිසයි.
කියෙව් නගරය ආසන්නයේ රුසියානු සන්නද්ධ රථ පෙළකට ප්‍රහාර එල්ල කරමින් එහි යුද ශක්තිය පාලනය කිරීමට හැකි වූයේද අදාළ බුද්ධි තොරතුරු අනුවයි.
රුසියාවේ යුද නැව් විනාශ කිරීමටද අමෙරිකානු බුද්ධි තොරතුරු වඩාත් උපකාරී වු අතර කළු මුහුදේ යාත්‍රා කරමින් තිබු රුසියානු නාවික හමුදාවට අයත් ප්‍රධානතම නෞකාව වන මොස්කා නෞකාව 2022 වසරේ විනාශ කිරීමට හැකිවූයේද අමෙරිකානු බුද්ධි තොරතුරු මතයි.