Search

මෙල්බන් හි පල්ලියක සැකකටයුතු ගින්නක්

අනවසර පදිංචිකරුවන් පිරිසක් වාසය කරන බවට සැක කරන මෙල්බන් හි පල්ලියක හදිසි ගින්නක් ඇතිවී තිබෙනවා.

මෙම ගින්න ඇතිවී ඇත්තේ දකුණු මෙල්බන් හි පාර්ක් වීදියේ පිහිටි කිසිවෙකු නොමැති පල්ලියක වීම ද විශේෂත්වයක්.

අද (03) උදෑසන 8.45 ට පමණ ප්‍රාන්ත හදිසි සේවා මෙම ස්ථානයට පැමිණ තිබුණා.

ඔවුන් පැමිණෙන විට පල්ලියේ වහලය මතින් විශාල දුමාරයක් නැගුණු බවටයි තොරතුරු වාර්තා වන්නේ.

වික්ටෝරියා ගිනි නිවීමේ බලකායේ ප්‍රකාශකයෙකු සදහන් කළේ තම කාර්ය මණ්ඩලය මහත් පරිශ්‍රමයක් දරා එම ස්ථානය අසල පිහිටි ගොඩනැගිල්ලකට ගින්න පැතිරීම වැළැක්වූ බවයි.

ගිනි නිවන භටයින් සිද්ධිය වූ පල්ලියේ සෝදිසි මෙහෙයුම් දියත් කර තිබෙනවා.

කෙසේ වෙතත් එම අවස්ථාවේදී එහි කිසිවෙකු සිට නැහැ.

මෙම ගොඩනැගිල්ල තුළ අනවසර පදිංචිකරුවන් වාසය කළ බවට තොරතුරු රැසක් බලධාරීන් වෙත වාර්තා වී තිබෙනවා.

ගින්නෙන් පල්ලියට සැළකිය යුතු හානි රැසක් සිදුවී ඇති බවටයි තොරතුරු වාර්තා වන්නේ.

ගින්නට හේතුව මෙතෙක් තහවුරු කරගෙන නොමැති අතර බලධාරීන් පවසන්නේ එය සැක සහිත බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ මේ වනවිට ක්‍රියාත්මක වනවා.