Search

Duty Free Allowance ඉහළට – අයවැයෙන් අඩුවූ වැඩිවූ සියල්ල මෙන්න

2025 සඳහා අයවැය යෝජනාවලිය අද (17) ජනාධිපති අනුර කුමාර දිසානායක පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.

එහි සඳහන් වන්නේ 2025 සඳහා අදායම් ලෙස රුපියල් බිලියන 4,990ක් ලැබෙතැයි ඇස්තමේන්තු කරන බවත් වියදම් ලෙස රුපියල් බිලියන 7,190ක් ඇස්තමේන්තු කර ඇති බවත් ය.

ඒ අනුව අයවැය පරතරය රුපියල් බිලියන 2,200කි.

විදෙස්ගත ශ්‍රමිකයන් වෙනුවෙන් මෙවර අයවැයෙන් යෝජනා කිහිපයක් ඉදිරිපත් කර තිබේ.

ඒ අනුව විදෙස්ගත ශ්‍රී ලාංකිකයින් දිරිගැන්වීම හා ත්‍යාග පිරිනැමීමේ ක්‍රම ගවේෂණය කරමින් සිටින බව ජනාධිපතිවරයා පැවසීය.

අද (17) පාර්ලිමේන්තුවේ දී මංගල අයවැය යෝජනා ඉදිරිපත් කරමින් ජනාධිපතිවරයා පවසා සිටියේ, එහි පළමු පියවර ලෙස විදෙස්ගත ශ්‍රී ලාංකික ප්‍රජාව දිවයිනට පැමිණෙන විට ගුවන්තොටුපොළේ දී ලබාදෙන තීරුබදු නිදහස් සීමාව වැඩි කිරීමට යෝජනා කර තිබේ.

දීමනාව සඳහා වන නිර්ණායකයන් හා පදනම ප්‍රසිද්ධ කරන බව ද ජනාධිපතිවරයා පැවසීය.

2025 වසරේ ලක්ෂ 25 ඉක්ම වූ සංචාරක පැමිණීමක් අපේක්ෂා කරන බව අයවැය කතාව ඉදිරිපත් කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක පැවසීය.

ඔහු වැඩිදුරටත් සඳහන් කරේ, සංචාරක ව්‍යාපාරයේ යටිතල පහසුකම් සංවර්ධය කිරීම ඇතුළු සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය වෙනුවෙන් රුපියල් මිලියන 500ක් මෙවර අයවැයෙන් වෙන් කර ඇති බවයි.

තවද, සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනයට ඩිජිටල් ටිකට් පත් ක්‍රමවේදයක් ද හඳුන්වා දෙන බව ජනාධිපතිවරයා පවසා සිටියේ ය.

මෙරටට පැමිණෙන සංචාරකයින් වෙනුවෙන් නව ගමනාන්ත හඳුන්වා දෙමින්,  Brand City නිර්මාණය කීරීමට අපේක්ෂා කරන බව ද,   ජනාධිපතිවරයා  එහි දී වැඩි දුරටත් පවසා සිටියේය.

ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා විශේෂ පොලී යෝජනා ක්‍රමයක් මෙවර අයවැයෙන් යෝජනා කර තිබේ.

අයවැය යෝජනා ඉදිරිපත් කරමින් ජනාධිපතිවරයා සඳහන් කළේ, මෙම යෝජනා ක්‍රමය යටතේ අවුරුදු 60ට වැඩි පුද්ගලයින් සුදුසුකම් ලබයි.

ඔවුන්ගේ මූල්‍ය ස්ථාවරය සහතික කිරීම සඳහා රු මිලියනයක වසරක ස්ථාවර තැන්පතු සඳහා වෙළෙඳපොළේ පවතින පොලී අනුපාතිකයට වඩා සියයට 3ක වාර්ෂික පොලී අනුපාතයක් ලබාදීමට කටයුතු කරන බව ජනාධිපතිවරයා පැවසීය.

මෙම යෝජනාව ක්‍රියාත්මක කිරීම සඳහා ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට ගෙවිය යුතු සියයට 3% පොලියට අවශ්‍ය ප්‍රතිපාදන සඳහා රු මිලියන 15,000ක් වෙන් කෙරෙන අතර, එය 2025 ජූලි මාසයේ සිට ක්‍රියාත්මක වන බව ද ජනාධිපතිවරයා කියා සිටියේය.

නමුත් 2017.12.31 දක්වා විශ්‍රාම ගියවිශ්‍රාම වැටුප මේ වන විටත් රුපියල් 3,000කින් වැඩි කර ඇති බව අයවැය යෝජනාව ඉදිරිපත් කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක පැවසීය.

සියලුම විශ්‍රාමිකයන් එකම වැටුප් පරිමාණයක සිටින බැවින් 2016 /2020 දක්වා විශ්‍රාම ගිය රජයේ සේවකයන්ගේ විශ්‍රාම වැටුප පමණක් සංශෝධනය කිරීම තුළින් වැටුප් විශමතා ඇති වන බව නිරීක්ෂණය කර ඇති බව ජනාධිපතිවරයා පෙන්වා දෙයි.

ඒ අනුව 2020.01.01 දිනට පෙර විශ්‍රාම ගිය සියලුම විශ්‍රාමිකයන්ගේ විශ්‍රාම වැටුප රාජ්‍ය පරිපාලන චක්‍රෙල්ඛනයේ 3/2016 අනුව 2020 වසරට අදාළ වැටුප් පරිමාණයන්ට අනුරූප අධියර තුනකින් සංශෝධනය කිරීමට යෝජනා කර ඇත.

ඒ අනුව 2020 ජනවාරි 01 වැනිදාට පෙර විශ්‍රාම ගිය සියලු විශ්‍රාමිකයන්ගේ විශ්‍රාම වැටුප අදියර 03කින් වැඩි කරන බව ජනාධිපතිවරයා වැඩිදුරටත් පවසා සිටියේය.

වැටුප් ව්‍යුහය සංශෝධනය කරමින්, රාජ්‍ය අංශයේ වැටුප් සංශෝධනයට රජය යෝජනා කර තිබේ.

ඒ අනුව රාජ්‍ය අංශයේ අවම මුලික වැටුප රු 24,250 සිට රු 40,000ක් දක්වා රු 15,750කින් වැඩි කිරීමට මෙවර අයවැයෙන් යෝජනා කර ඇත.

අයවැය යෝජනා ඉදිරිපත් කරමින් ජනාධිපතිවරයා සඳහන් කළේ, දැනට පවතින තාවකාලික අතුරු දීමනාව සහ විශේෂ දීමනාව මුලික වැටුපට ඒකාබද්ධ කරන අතර රු 8,250ක ශුද්ධ වැඩිවීමක් මුලික අවම වැටුපට අදාළ සිදුකිරීමට ද යෝජනා කර තිබේ.

මීට සමගාමීව අධිකරණ සේවා, රාජ්‍ය සංස්ථා, ව්‍යස්ථාපිත මණ්ඩල, විශ්වවිද්‍යාල කාර්ය මණ්ඩල සහ ත්‍රිවිධ හමුදා නිලධාරීන්ගේ වැටුප් සඳහා ද මෙය ඇතුළත් වේ.

රු 15,750කින් අවම වැටුප වැඩිකිරීමට අමතරව, වාර්ෂික වැටුප් වර්ධකයේ වටිනාකම 80%කින් වැඩි කරන බව ද ජනාධිපතිවරයා පැවසීය.

ඒ අනුව රු 250ක අවම වාර්ෂික වැටුප් වර්ධකය රු 450 දක්වා ඉහළ යනු ඇති බවත් රු 500ක වැටුප් වර්ධකය රු 900 දක්වා වැඩි කරන බවටත් යෝජනා විය.

මෙම වැටුප් වැඩිකිරීමේ සමස්ත ඇස්තමේන්තුව වියදම රු බිලියන 325ක් වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

මෙම වැටුප් වැඩිවීම අදියර කිහිපයක් යටතේ සිදුකිරීමට නියමිත බවත් ඒ අනුව මුල් ශුද්ධ වැටුප රු 5,000ක් සහ ඉතිරි  මුදල 30%ක් 2025 අප්‍රේල් මාසයේ සිට ක්‍රියාත්මක කරන අතර, ඉතිරි 70% 2026 සහ 2027 වසරේ ජනවාරි මාසයේ දී සමාන කොටස්වලින් ලබාදීමට නියමිත බවත් ජනාධිපතිවරයා පැවසීය.

එබැවින් 2025 වසරේ යෝජිත වැටුප් වැඩිකිරීමට රු බිලියන 110ක් වෙන්කිරීමට නියමිතය.

මේ අතර, රාජ්‍ය අංශයේ අත්‍යාවශ්‍ය පුරප්පාඩු පිරවීමට 30,000ක් බඳවා ගැනීමට සැලසුම් කර තිබේ.

ඒ අනුව 2025 වසරේ දී රු මිලියන 10,000ක් වෙන් කිරීමට නියමිත බව ද අයවැය යෝජනා ඉදිරිපත් කරමින් ජනාධිපතිවරයා පැවසීය.

පුද්ගලික අංශය සඳහා ද මෙවර අයවැයෙන් වැටුප් වැඩිකිරීමක් යෝජනා කර තිබේ.

ඒ අනුව පුද්ගලික අංශයේ සේවකයන්ගේ දැනට පවතින අවම මාසික වැටුප රුපියල් 21,000 සිට 2025 වසරේ අප්‍රේල් මාසය වන විට රුපියල් 27,000ක් ලෙස සහ 2026 වසරේ ජනවාරි මාසය වන විට එය රුපියල් 30,000ක් දක්වා ඉහළ නැංවීමට නියමිතය.

මේ සඳහා සේවායෝජකයින්ගේ සංගමය එකඟ වී ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක  පාර්ලිමේන්තුවේ දී අයවැය යෝජනා ඉදිරිපත් කරමින් පැවසීය.

වකුගඩු රෝගීන්ගේ, ආබාධිවූවන්ගේ සහ වැඩිහිටි දීමනාව මෙවර අයවැයෙන් ඉහළ දැමීමට යෝජනා කර තිබේ.

අයවැය යෝජනා ඉදිරිපත් කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක පවසා සිටියේ, වකුගඩු රෝගීන් සහ ආබාධිත පුද්ගලයින් සඳහා ලබාදෙන මාසික දීමනාව රු 7,500 සිට රු 10,000 දක්වා වැඩි කිරීමට නියමිත බවය.

වැඩිහිටියන්ට ලබාදෙන මාසික දීමනාව රු 3,000 සිට රු 5,000 දක්වා මේ වසරේ අප්‍රේල් මාසයේ සිට වැඩිකිරීමට යෝජනා කරන බව ද ජනාධිපතිවරයා පැවසීය.

මේ අතර අස්වැසුම ප්‍රතිලාභීන්ට රු බිලියන 232.5ක් වෙන් කර ඇතැයි ද ජනාධිපතිවරයා පැවසීය.

එමෙන්ම අඩු ආදායම් ලබන පවුලක එක් සිසුවෙක් සඳහා පොත්පත් මිල දී ගැනීමට රු 6,000ක මුදල දැනටමත් ක්‍රියාත්මකය.

සැමට අධ්‍යාපන අවස්ථා ලබා දෙමින් 2019 සිට සංවර්ධනය නොවූ පාසල් යටිතල පහසුකම් සංවර්ධනය සඳහා 2025 අයවැය තුළින් රුපියල්

මිලියන 1,000කට අධික ප්‍රමාණයක් වෙන් කිරීමට රජය පියවර ගෙන තිබේ.

2025 මංගල අයවැය කතාව ඉදිරිපත් කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මේ  බව පැවසීය.

විශ්වවිද්‍යාල පද්ධතියේ ගුණාත්මක වර්ධනය උදෙසා රුපියල් බිලියන 135ක් මේ වන විටත් වෙන් කර අවසන් බව ජනාධිපතිවරයා එහි දී පවසා සිටියේය.

තව ද මහපොළ ශිෂ්‍යාධාරය රුපියල් 5000 සිට රුපියල් 7,500 දක්වා වැඩි කිරීමටත් ශිෂ්‍යාධාර දීමනා රුපියල් 4,000සිට රුපියල්  6,500ක් දක්වා වැඩි කිරීමටත් කටයුතු කර ඇති අතර මේ සඳහා මේ සඳහා වෙන්කර ඇති මුලද රුපියල් මිලියන 4,600කි.

මෙම දීමනා අප්‍රේල් මාසයේ සිට ලබා දීමට කටයුතු කර ඇත.

මේ අතර පෙරපාසල් ළමුන්ගේ පෝෂණ අවස්ථා වෙනුවෙන් උදෑසන ආහාරය සැපයීම සඳහා එක් ආහාර වේලක් වෙනුවෙන් වෙන් කර තිබූ රුපියල් 60ක මුදල් ප්‍රමාණය රුපියල් 100 දක්වා ඉහළ නැංවීමට කටයුතු කර ඇති අතර ඒ සඳහා වෙන් කර ඇති මුළු මුදල රුපියල් මිලියන 1,000කි.

තෝරාගත් මුල් ළමාවිය මධ්‍යස්ථාන සංවර්ධනය කිරීම සඳහා රුපියල් මිලියන 80ක් වෙන් කිරීමට කටයුතු කර ඇත.

තව ද, පෙරපාසල් ගුරුවරු වෙනුවෙන් ලබා දෙන දීමනාව මෙම වසරේ ජුනි මාසයේ සිට තවත් රුපියල් 1,000කින් වැඩි කිරීමට කටයුතු කර ඇති අතර ඒ සඳහා වෙන් කර ඇති මුළු මුදල රුපියල් මිලියන 100කි.

රාජ්‍ය වියදම් කළමනාකරණය සඳහා රජය අඛණ්ඩව උත්සාහ දරමින් සිටින බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසයි.

2025 අයවැය යෝජනා ඉදිරිපත් කරමින් ඒ මහතා පවසා සිටියේ, මහජන නියෝජිතයින්ට ලබාදෙන දීමනා සහ ප්‍රතිලාභ සම්බන්ධයෙන් සමස්ත පද්ධතියම සමාලෝචනය කරන බව ද ජනාධිපතිවරයා කියා සිටියේය.

ඒ අනුව ලක්ෂ 10ට පැවති රක්ෂණය රුපියල් ලක්ෂ 2 හමාරට දක්වා අඩුකරන බව ද පැවසු ජනාධිපතිවරයා පැවසීය.

වියදම් කළමනාකරණයේ දී දේශපාලන නායකයින් ලෙස රටට ආදර්ශයක් ලබාදීමට ඇමති මණ්ඩලය, අමාත්‍යවරු 21කට සීමා කළ බවත්, රජයේ වියදම් අඩු කරමින් අමාත්‍යවරුන්ගේ හා නියෝජ්‍ය අමාත්‍යවරුන්ගේ වියදම් තාර්කීකරණය කර ඇතැයි ද කියා සිටියේය.

ජනාධිපති, අගමැති සහ මැති ඇමතිවරු සම්බන්ධයෙන් වෙන් කළ පොදු සම්පත් ඵලදායි ලෙස මහජන සංචිතයට යොමු කිරීමට කමිටුවක් දැනටමත් පත්කර ඇතැයි ද ජනාධිපතිවරයා පැවසීය.

අධික නඩත්තු වියදම් දැරීමට සිදුවන රජයේ සියලු සුඛෝපභෝගි වාහන මාර්තු මාසයේ වෙන්දේසි කරන බව ද ජනාධිපතිවරයා කියා සිටියේය.

තෝරාගත් රජයේ නිලධාරීන්ට සුදුසු මුල්‍ය ප්‍රතිපාදන ලබාදීම හරහා වාහන සඳහා වු අධික වියදම් අවම කරන බව ද ජනාධිපතිවරයා පැවසීය.

“මන්ත්‍රීවරුන්ට පර්මිට් එක ලැබෙන්නෙත් නෑ. මේ අවුරුද්දේ වාහනත් නෑ. අයවැයෙන් මුදල් වෙන්කරලා නෑ. ඒක දරාගන්න බෑ”

ඕනෑම මොහොතක යුක්‍රේනයට සහය දෙනවා අගමැති ඇල්බනීස් කියයි

යුක්‍රේනයේ සාමය උදා කිරීම සඳහා ඔස්ට්‍රේලියානු පාර්ශවයෙන් කළ හැකි සෑම උපකාරයක් ම ලබාදනෙ බවට අගමැති ඇන්තනී ඇල්බනීස් නැවත සහතික වී තිබෙනවා.

Read More »