Search

ලොව පළමු ඔසප් වේදනා නැති කිරීමේ උපාංගය ඇඩිලේඩ් නුවරින්

ලොව පළමු ඔසප් වේදනා නැති කිරීමේ උපාංගයක් හඳුන්වා දීමට ඇඩිලේඩ් හි පර්යේෂකයන් පිරිසක් සමත්ව තිබෙනවා.

“ඇලිරා” (Alyra) ලෙස හැදින්වෙන මෙම උපාංගයෙන් කාන්තාවන්ට වඩා ඵලදායී සහ ඉලක්ක ගත සහනයක් ලැබෙනු ඇති බවයි පර්යේෂකයින් කියාසිටියේ.

එමගින් කාන්තාවන් ඔසප් වේදනාවේදී සුලබව භාවිතා කරන වේදනා නාශක වලින් සිදුවන අතුරු ආබාධ වලින් මිදීමට ද හැකියාව පවතින බව ඔවුන් තහවුරු කළා.

ඇලිරා උපාංගය මේ වනවිටත් දකුණු ඔස්ට්‍රේලියාවේ විශ්ව විද්‍යාලයේ අත්හදා බැලීම්වල පවතින අතර තවත් වසර 5 කින් එය වෙළඳ පොළට නිකුත් කළ හැකි බවයි පර්යේෂකයින් සඳහන් කළේ.

පර්යේෂණයට භාජනය වූ කාන්තාවක් පවසා සිටියේ මෙම ඇලිරා උපාංගය භාවිතයෙන් කාන්තාවන්ගේ ජීවිතයට සහනයක් ලැබෙනු ඇති බවයි.

ඔසප් වීමේදී වේදනාව ඇති කාන්තාවන්ට ඇලිරා බයෝටෙක් වෙබ් අඩවිය හරහා අත්හදා බැලීම පිළිබඳ වැඩි විස්තර දැනගත හැකියි.