ඔස්ට්‍රේලියාව වෙත Fake Stones (ව්‍යාජ ගල් වර්ග) ආනයනය කිරීම අද (01) දිනයේ සිට බල පැවැත්වෙන පරිදි තහනම් කිරීමට තීරණය කර තිබෙනවා.
මෙම Fake Stone නිෂ්පාදන බොහෝ මුළුතැන්ගෙයි කටයුතුවලට මෙන්ම ගල් බංකු ඉදිකිරීම සඳහා ද බහුලව භාවිතා කරන බවයි සදහන් වන්නේ.
සිලිකොසිස් (Silicosis) රෝගී තත්වය ඇතිවීම කෙරෙහි Fake Stones විශාල බලපෑමක් එල්ල කරන බවයි අනාවරණය වී ඇත්තේ.
ඒ අනුව කාලයක් තිස්සේ ඔස්ට්‍රේලියාව තුළ ජනප්‍රිය ගොඩනැගිලි ද්‍රව්‍යයක් වූ මෙම fake stone සහිත ගල් බංකු, ස්ලැබ් සහ පැනල් ආනයනය කිරීම අද දිනයේ සිට තහනම් කිරීමටයි ෆෙඩරල් රජය විසින් පියවර ගෙන ඇත්තේ.
බොහෝ විට මුළුතැන්ගෙයි බංකු (kitchen benches) සඳහා භාවිතා කරන ජනප්‍රිය ද්‍රව්‍යයක් වන මෙම fake stone වල පවතින අධික සිලිකා අන්තර්ගතය හේතුවෙන් ඒ ආශ්‍රිත කර්මාන්තවල නිරත වන පුද්ගලයන්ට මාරාන්තික පෙනහළු රෝග ඇතිවීමේ අවදානමක් ද පවතිනවා.
පසුගිය වසරේ දී නිකුත් වූ Safe Work Australia ආයතනයේ වාර්තාවක සදහන් ව තිබුණේ මෙම ගල් ආශ්‍රිත කර්මාන්තවල නිරත වන පෙදරේරුවන්ට එම රෝගී තත්වයන් ඇති වීම කෙරෙහි දැඩි අවදානම් තත්වයක් පවතින බවයි.
මේ හේතුව මත පදනම් ව fake stone භාවිතය සහ සැපයීම ජාතික වශයෙන් තහනම් කිරීමටයි ෆෙඩරල් රජය විසින් තීරණය කර ඇත්තේ.
ඒ අනුව මෙම ගල් වර්ග තහනම් කළ ලොව පළමු රට බවට ඔස්ට්‍රේලියාව පත්ව තිබීම ද විශේෂත්වයක්.
සිලිකොසිස් රෝගයෙන් මිය ගිය පුද්ගලයින්ගේ සංඛ්‍යාව නිශ්චිතව අනාවරණ වී නොමැති වුව ද එම කර්මාන්තයේ නිරත පෙදරේරුවන්ට රෝගය වැළඳීම වැළැක්වීම සඳහා රෝග විනිශ්චය සහ මරණ පිළිබඳ නව ජාතික ලේඛනයක් ද හඳුන්වා දී ඇති බවයි වාර්තා වන්නේ.