විදුලිය සදහා වැය වන මිල ගණන් පහත වැටීමේ සහන බලශක්ති සමාගම් හරහා ඔස්ට්‍රේලියානුවන්ට නිසි පරිදි හිමි නොවන බවට හදුනාගෙන තිබෙනවා.
මේ නිසා එක් එක් බලශක්ති සමාගම්වල ගෘහස්ත විදුලිය සදහා අය වන මිල ගණන් සංසන්දනය කොට තමන්ට ලාභදායී මිල ගණන් සහිත බලශක්ති සමාගමක් වෙත මාරු වන ලෙසයි Australian Competition & Consumer Commission (ACCC) විසින් පාරිභෝගික ප්‍රජාව වෙත දැනුම් දී ඇත්තේ.
Australian Competition & Consumer Commission (ACCC) විසින් සිදුකරන ලද නවතම විදුලි විමර්ශන වාර්තාව ඔස්සේ අනාවරණය වී ඇත්තේ ජාතික විදුලි පද්ධතියට සම්බන්ධ ඔස්ට්‍රේලියානු පවුල් වලින් 80% කට වඩා වැඩි ප්‍රමාණයක් විදුලි බිල්පත් සදහා වැඩි මුදලක් ගෙවන බවයි.
2023 අගෝස්තු මාසයේ සිට 2024 අගෝස්තු මාසය දක්වා ගතවූ වසරක කාලසීමාව තුළ සිල්ලර විදුලි මිල පහත වැටී ඇති පසුබිමක එම සහනය තවමත් නිසි පරිදි පාරිභෝගික ප්‍රජාව වෙත නොලැබී ඇති බවයි මේ හරහා පෙන්වා දී ඇත්තේ.
මෙම වාර්තාව හරහා තවදුරටත් අනාවරණය වී ඇත්තේ නව විදුලි සැපයුම් ලබාගත නිවාසවලට සාපේක්ෂව වසරකට වඩා පැරණි විදුලි සැපයුම් සහිත නිවාස හිමියන් විසින් සෑම වසරකම දළ වශයෙන් ඩොලර් 238 ක වැඩි මුදලක් විදුලිය සදහා වැය කරන බවයි.
මෙවර නිවාඩු සමයේ දී Energy Made හෝ Victoria Energy Compare වැනි වෙබ් අඩවි ඔස්සේ තමන්‍ට ගැලපෙන ලාභදායී විදුලි සැලසුම පරීක්ෂා කර ගන්නා ලෙසයි Australian Competition & Consumer Commission (ACCC) හි කොමසාරිස් ඇනා බ්‍රේකි විසින් වැඩිදුරටත් අවධාරණය කර ඇත්තේ.