Search

ෆෙඩරල් මැතිවරණයේදී වික්ටෝරියා ප්‍රාන්තය තීරණාත්මක වන ලකුණු

ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ඔස්ට්‍රේලියානු ෆෙඩරල් මැතිවරණයේ දී වික්ටෝරියා ප්‍රාන්තය තීරණාත්මක සාධකයක් වනු ඇති බවට අනාවරණය වී තිබෙනවා.

ඒ අනුව The Australian විසින් පවත්වනු ලැබූ ජන මත විමසුමේ (Newspoll) ප්‍රතිඵල විශ්ලේෂණය හරහා මේ පිළිබදව කරුණු හෙළිදරව් වී තිබෙන බවයි දැක්වෙන්නේ.

ඔක්තෝබර් 7 වනදා සිට දෙසැම්බර් 6 වනදා දක්වා කාලසීමාව තුළ මෙම මත විමසුම පවත්වා තිබෙනවා.

ඊට ඔස්ට්‍රේලියාව පුරා සිටින ඡන්ද දායකයන් 3,775 දෙනෙකු සහභාගී වී තිබීම ද කැපී පෙනෙනවා.

ඒ අනුව වික්ටෝරියා සහ නිව් සවුත් වේල්ස් යන ප්‍රාන්ත දෙකේ ජන මතය කම්කරු පක්ෂයට මෙන්ම විපක්ෂ ලිබරල් සන්ධානයට ද සමානව බෙදී පවතින එහි සදහන් වී ඇත්තේ.

වික්ටෝරියා ප්‍රාන්තය තුළ දී අග්‍රාමාත්‍යවරයා සහ විපක්ෂ නායකවරයා සම සමව පසුවන එහි දැක්වෙනවා.

ඒ අනුව ඉදිරි ෆෙඩරල් මැතිවරණයේ දී කම්කරු පක්ෂය වෙත මෙම තත්වය තරමක අවාසිදායක වනු ඇති බවටයි අනුමාන කෙරෙන්නේ.

මෙවැනි පසුබිමක් තුළ අවුරුදු 35 ත් 49 අතර වයස් කාණ්ඩයේ පසුවන ඔස්ට්‍රේලියානුවන්ගේ කම්කරු පක්ෂ ඡන්ද පදනම තුළද යම් පහත වැටීමක් පෙන්නුම් කෙරෙනවා.

ජූලි මාසය වනවිට එම ප්‍රතිශතය 53% සිට 47% දක්වා පහත වැටී ඇති බවයි සැලකෙන්නේ.

මේ නිසා විපක්ෂ ලිබරල් සන්ධානය විසින් එම වයස් කාණ්ඩයේ පසුවන තම ඡන්ද පදනම 37% ක් දක්වා වර්ධනය කර ගැනීමට සමත් වී තිබෙනවා.

කෙසේ වෙතත් තරුණ ඔස්ට්‍රේලියානුවන් ගේ වැඩි සහයෝගයක් කම්කරු පක්ෂයට හිමිව තිබීම ද විශේෂත්වයක්.

අවුරුදු 65 ට වැඩි ජ්‍යේෂ්ඨ පුරවැසි ඔස්ට්‍රේලියානුවන්ගේ ජන මතය මීට හාත්පසින්ම වෙනස් වී තිබෙනවා.

එහිදී විපක්ෂ ලිබරල් සන්ධානය කම්කරු පක්ෂයට වඩා ඉදිරියෙන් සිටින බවයි සදහන් වී ඇත්තේ.