සුවහසක් ක්‍රීඩා ලෝලීන්ගේ අවධානය දිනූ Boxing Day ටෙස්ට් තරගය අද මෙල්බන් වේලාවෙන් උදෑසන 10.30 ට MCG හී දී ආරම්භ වුණා.
බෝඩර් – ගවස්කාර් කුසලන තරගාවලියට සමගාමීව පැවැත්වෙන සිව් වන ටෙස්ට් තරගයේ කාසියේ වාසිය දිනූ ඔස්ට්‍රේලියා කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කළා.
අද දිනයේ දී වයස අවුරුදු 19 ක් වූ සෑම් කොන්ස්ටස් ටෙස්ට් වරම් දිනා ගත්තා.
ඉන්දීය කණ්ඩායමට එරෙහිව විශිෂ්ට පිතිකරණයක නිරත වූ ඔහු පන්දු 65 කදී ලකුණු 60 ක් රැස් කිරීමට සමත්කම් දැක්වූවා.
ඒ ඉනිමට හතරේ පහරවල් 6 ක් සහ හයේ පහරවල් දෙකක් අන්තර්ගතයි.
ඒ අනුව මංගල ටෙස්ට් තරගයේ පළමු ඉනිමේ දී අර්ධ ශතකයක් රැස් කිරීමට සමත් වූ පිතිකරුවන්ගේ ලැයිස්තුවට සෑම් කොන්ස්ටස් ගේ නම ද ඇතුළත් වීමද විශේෂත්වයක්.
එමෙන්ම Boxing Day ටෙස්ට් තරගයක අර්ධ ශතකයක් රැස් කළ ලාබාලතම ක්‍රීඩකයා බවට ද සෑම් කොන්ස්ටස් අද දිනයේ දී වාර්තා අතරට එක් වුණා.
ජස්ප්‍රිට් බුම්රා වැනි ප්‍රබල ඉන්දීය පන්දු යවන්නන්ට එරෙහිව ඔහු පිතිකරණයේ යෙදුණු ආකාරය ලොව පුරා ක්‍රිකට් ක්‍රීඩා ලෝලීන් අතර කතාබහට ලක්ව තිබෙන බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.
මෙවැනි පසුබිමක් තුළ තරගය පැවැත්වෙන අතරතුර දී විරාට් කෝලි සහ සෑම් කොන්ස්ටස් අතර බහින් බස් වීමක් සිදුවී තිබෙන බවට ද වාර්තා වනවා.