ශ්‍රී ලංකාව ඇතුළු රටවල් රැසකට දැඩි බලපෑමක් එල්ල කළ සුනාමි ව්‍යසනය සිදුවී අදට (26) වසර 20 ක් ගත වනවා.
2004 වසරේ දෙසැම්බර් 26 වනදා අලුයම 6.58 ට පමණ ඉන්දුනීසියාවේ සුමාත්‍රා දූපත අසල මුහුදේ ඇතිවූ භූ කම්පනයක් නිමිති කරගෙන මෙම සුනාමි තත්වය ඇති වුණා.
ඒ හේතුවෙන් ශ්‍රී ලංකාව, ඉන්දියාව, ඉන්දුනීසියාව, තායිලන්තය, මැලේසියාව, මාලදිවයින සහ මියන්මාරය වැනි ආසියාතික රට වලට ද අප්‍රිකානු කලාපයේ සෝමාලියාවට ද විශාල බලපෑමක් එල්ල වුණා.
උදම් රළ පහර පැයට කිලෝමීටර් 800 ක වේගයෙන් ශ්‍රී ලංකා වෙරළ තීරයට පැමිණි බවයි පැවසෙන්නේ.
ශ්‍රී ලංකාවේ නැගෙනහිර වෙරළ තීරයට පළමු සුනාමි රළ පහර පැමිණ තිබුණේ ශ්‍රී ලංකා වේලාවෙන් එදින පෙරවරු 09.25 ටයි.
එදින අඩි 30 ක් පමණ ඉහළින් සුනාමි රළ පැවති බව ද සදහන්.
ශ්‍රී ලංකාවට බලපෑ සුනාමි ඛේදවාචකයෙන් 40,000 කට අධික පිරිසක් ජීවිතක්ෂයට පත්වූ බවයි වාර්තා වී ඇත්තේ.
මේ අතර පැරෑලියේ සිදුවූ දුම්රිය අනතුරෙන් පමණක් 1250 කට අධික පිරිසක් ජීවිතක්ෂයට පත්වූ බවයි දැක්වෙන්නේ.
තනි දුම්රියක සිදු වූ ලෝකයේ දරුණුම දුම්රිය අනතුර ද මෙය බවයි වාර්තා වී ඇත්තේ.
මේ අතර සුනාමි ඛේදවාචකය සිහිපත් කිරීම වෙනුවෙන් ජාතික ආරක්ෂිතතා දිනය අද සැමරෙනවා.
ඒ අනුව පෙරවරු 9.25 සිට 9.27 දක්වා විනාඩි 2 ක කාලයක නිහඬතාවයක් දක්වන ලෙසටයි ශ්‍රී ලංකා රජය විසින් ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.
සුනාමි ඛේදවාචකය හේතුවෙන් අතුරුදහන් වූ ඇතමුන් පිළිබදව නිශ්චිත තොරතුරු වසර 20 ක් ගතවී ඇතත් මෙතෙක් තහවුරු කරගෙන නෑ.