මදුරුවන් මගින් බෝවන රෝගී තත්වයක් පිළිබඳ වික්ටෝරියා ජනතාවට අවධානයෙන් පසුවන්නැයි සෞඛ්‍ය අංශ අනතුරු ඇඟවීමක් සිදු කර තිබෙනවා.
Buruli ලෙස නම් කර ඇති මෙම රෝගය බැක්ටීරියා ආසාදිත මදුරුවන් දෂ්ඨ කිරීමෙන් පසු වණ කැලැල් බවට පත්ව තුවාල ලෙස වර්ධනය වන බවයි වාර්තා වන්නේ.
“Mycobacterium Ulcerns” නමැති බැක්ටීරියාව හරහා මෙම රෝගය වැළදීම සිදුවන අතර මේ හරහා සමේ ආසාදනයන් ඇති කරන බවයි හදුනාගෙන ඇත්තේ.
කෙසේ වෙතත් මෙම රෝගය මිනිසුන් හරහා සම්ප්‍රේෂණය නොවන අතර මදුරුවන් හරහා මෙම රෝගය බෝ වීම සිදුවන බවයි හදුනාගෙන ඇත්තේ.
වික්ටෝරියා ප්‍රාන්ත සෞඛ්‍ය දෙපර්තුමේන්තුවේ දත්ත වාර්තාවලට අනුව මෙම වසරේ දෙසැම්බර් මස 17 වනදා වනවිට ප්‍රාන්තය තුළ රෝගීන් 334 ක් පමණ වාර්තා වී තිබෙන බවයි දැක්වෙන්නේ.
මෙවැනි පසුබිමක Mornington Peninsula Region, Bellarine Peninsula Region, Westernport Region, Frankston / Langwarrin Region, South Eastern Bayside Suburbs, East Gippsland, Bremlea, Torquay, Belmont, Highton, Essendon සහ Moonee Ponds ඇතුලු කලාප රැසකින් මෙම රෝගීන් වැඩි වශයෙන් වාර්තා වී තිබෙනවා.
මේ පිළිබදව බෝවන රෝග විශේෂඥයෙකු වන Mehrab Hossin විසින් ප්‍රකාශ කර ඇත්තේ මෙම බැක්ටීරියා ආසාදනය හේතුවෙන් සමේ ඇතිවන තුවාල බරපතල වන නමුත් ඒවා ප්‍රතිකාර හරහා පහසුවෙන් සුව කළ හැකි බවයි.
කාලාන්තරයක් තිස්සේ සුව නොවන තුවාල ශරීරයේ පවතිනවා නම් ඒ සම්බන්ධයෙන් සැලකිලිමත්ව කටයුතු කරන ලෙසයි ඔහු වැඩිදුරටත් සදහන් කර ඇත්තේ.
සංයෝජන ප්‍රතිජීවක ඖෂධයක් හරහා මෙම රෝගයට ප්‍රතිකාර ලබාදීම සිදු කරන අතර ඒ සදහා දළ වශයෙන් මාස තුනක හෝ හතරක කාල සීමාවක් ගතවන බවයි පැවසෙන්නේ.
මේ අතර නවතම අධ්‍යයනයකින් අනාවරණය වී ඇත්තේ වික්ටෝරියා ප්‍රාන්තයට සමානව නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය තුළ ද මෙම රෝගය පැතිරී යා හැකි බවයි.
මදුරුවන් වැඩි වශයෙන් සිටින ප්‍රදේශවල සංචාරය කිරීමේ දී සැලකිලිමත්ව කටයුතු කළ යුතු අතර මදුරු දෂ්ඨනයෙන් ආරක්ෂා විය හැකි ඇදුම් පැලදුම් භාවිතය ඔස්සේ ද මෙම රෝගී තත්වයට ගොදුරු වීමෙන් වැළකී සිටිය හැකි බවටයි එහි වැඩිදුරටත් දැක්වෙන්නේ.