Search

Regional Victoria පවුල් ප්‍රචණ්ඩත්වය ඉහළට

වික්ටෝරියා ප්‍රාන්තයේ ප්‍රාදේශීය කලාපවල ජීවත්වන වික්ටෝරියානුවන් පවුල් ප්‍රචණ්ඩත්වයෙන් දැඩි ලෙස පීඩා විදින බවට නවතම වාර්තාවකින් හෙළිවී තිබෙනවා.

වික්ටෝරියා අපරාධ සංඛ්‍යාලේඛන ඒජන්සි (CSAV) දත්ත වාර්තාවලට අනුව හදුනාගෙන ඇත්තේ වික්ටෝරියා ප්‍රාන්තයේ නාගරික කලාපවල ජීවත්වන වැසියන්ට සාපේක්ෂව ප්‍රාදේශීය කලාපවල ජීවත්වන වැසියන් පවුල් ප්‍රචණ්ඩත්වයට ගොදුරු වීමේ සම්භාවිතාවය දෙගුණයකින් පමණ ඉහල ගොස් තිබෙන බවයි.

2023-2024 මූල්‍ය වර්ෂයට අදාලව වික්ටෝරියා ප්‍රාන්තයේ ප්‍රාදේශීය කලාපවල ජීවත් වන පුද්ගලයන් 100,000 කට පවුල් ප්‍රචණ්ඩත්වයට මුහුණ දීමට සිදුවන අනුපාතය 2,157 ක් බවයි එම දත්ත වාර්තා මගින් පෙන්වා දී ඇත්තේ.

වික්ටෝරියා ප්‍රාන්තයේ නාගරික කලාපවල එම අනුපාතය 1,172 ක් වන කලාප දෙක අතර සංසන්දනාත්මක අධ්‍යයනය කිරීමේදී පවුල් ප්‍රචණ්ඩත්ව අනුපාතයේ 84% ක පමණ වෙනසක් දක්නට ලැබෙන බවයි වැඩිදුරටත් සදහන් වන්නේ.

මෙම වෙනස පසුගිය වසර පහක කාලය පුරාවට ඉහළ ගොස් තිබෙන පසුබිමක නාගරික කලාපවල පවුල් ප්‍රචණ්ඩත්ව අනුපාතයේ සුළු වැඩිවීමක් (0.3%) පෙන්නුම් කළද ප්‍රාදේශීය කලාපවල එම අගය 18.2% ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

2022-2024 මූල්‍ය වර්ෂයට අදාල වැඩිම පවුල් ප්‍රචණ්ඩත්වයක් සහිත ප්‍රදේශ අතරට වික්ටෝරියා ප්‍රාන්තයේ නැගෙනහිර සහ වයඹ පිහිටි ප්‍රාදේශීය කලාප නම් වී තිබෙන බවයි එම දත්ත හරහා අනාවරණය වී ඇත්තේ.