
සයිබර් අපරාධකරුවන් විසින් ඔස්ට්‍රේලියාවේ ධනවත් පෞද්ගලික පාසල් වැඩි වශයෙන් ඉලක්ක කර ගනිමින් සිටින බව සයිබර් ඔත්තු බැලීමේ ඒජන්සියේ නව වාර්තාවක් අනතුරු අඟවා තිබෙනවා.
වාර්ෂික තර්ජන තක්සේරුව සම්බන්ධයෙන් වාර්තාව නිකුත් කරමින් ඒජන්සිය පැවසුවේ පසුගිය මූල්‍ය වර්ෂය තුළ සයිබර් අපරාධ හේතුවෙන් කුඩා ව්‍යාපාරවලට ඩොලර් 50,000කට ආසන්න අමතර මුදලක් වැයවී ඇති බවයි.
එමෙන්ම සයිබර් අපරාධවලට මුහුණ දුන් තනි පුද්ගලයෙකු සඳහා සාමාන්‍ය පිරිවැය ඩොලර් 30,000ක් පමණ වන බවයි එහි දැක්වෙන්නේ.

පසුගිය මාස 12 තුළ වර්ධනය වන ප්‍රවණතාවක් වී ඇත්තේ හැකර්වරුන් විසින් පුද්ගලික පාසල්වලට සයිබර් ප්‍රහාර එල්ල කිරීම බව මෙම වාර්තාවල සඳහන්.
සෞඛ්‍ය හා මනෝවිද්‍යාත්මක දත්ත ඇතුළුව සිසුන්ගේ සංවේදී දත්ත සහිත පාසල් වාර්තා සොරකම් කර දෙමාපියන්ගෙන් කප්පම් ගැනීමට යොදා ගන්නා බවට හෙළි කරගෙන තිබෙනවා.

පසුගිය මූල්‍ය වර්ෂය තුළ සයිබර් ඔත්තු බැලීමේ ඒජන්සියට සයිබර් අපරාධ පිළිබඳ වාර්තා 87,000ක් ලැබී ඇති අතර ඉන් සිදුවීම් 1100කට ඔවුන් ප්‍රතිචාර දක්වා තිබෙනවා.
ආරක්ෂක අමාත්‍ය රිචඩ් මාර්ල්ස් සඳහන් කළේ මෙම වාර්තා සංඛ්‍යාව පෙර වසරට සමාන වුව ද අපරාධවල බලපෑම සහ පිරිවැය වැඩිවෙමින් පවතින බවයි.
මේ හේතුවෙන් සයිබර් ප්‍රහාරවලට ගොදුරු වූ විට හැකර්වරුන්ට මුදල් නොගෙවන ලෙස පුද්ගලයන්ට සහ ව්‍යාපාරවලට රජය නැවතත් දැනුම්දී තිබෙනවා.