
පසුගිය වසරේදී පමණක් වික්ටෝරියා ප්‍රාන්තයේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සේවයේ නියුතු වෛද්‍යවරුන්, හෙදියන් සහ සෞඛ්‍ය සේවකයන් 20,000 කට අධික වූ ප්‍රචණ්ඩකාරී සිදුවීම්වලට ගොදුරු වී තිබෙන බවට තොරතුරු සදහන් වනවා.
කලක පටන් ඉහල යන ප්‍රචණ්ඩ ක්‍රියා වැලැක්වීම සදහා සේවා ස්ථානවල ආරක්ෂාව වැඩිදියුණු කිරීම සදහා අවශ්‍ය පියවර ගන්නා ලෙස සෞඛ්‍ය වෘත්තිකයින් රජයෙන් ඉල්ලා සිටින බවයි සදහන් වන්නේ.
මේ සම්බන්ධව අදහස් දැක්වූ ඔස්ට්‍රේලියානු වෛද්‍ය සංගමයේ (AMA) සභාපති වෛද්‍ය Danielle McMullen ප්‍රකාශ කළේ සේවා ස්ථානවලදී වෛද්‍ය කාර්ය මණ්ඩලයන් විවිධ වූ හිංසනයන්ට, පහරදීම්වලට ලක්වන බවත් එම නිසා ඔවුන් ශාරීරික පිඩාවන්ට මෙන්ම ඇතැම් පුද්ගලයන්ට තම ජිවිතයෙන් පවා වන්දි ගෙවීමට සිදුවන බවයි.

මෙවැනි තත්වයන් හමුවේ සෞඛ්‍ය සේවකයන්ද ශාරීරික ආබාධ, කාංසාව, හදිසි කෝපය, සේවක තෘප්තිය අඩු වීම, කම්පනයන් සහ මානසික ආබාධයන්ට ගොදුරු වන බව වෛද්‍ය Danielle McMullen විසින් වැඩිදුරටත් සදහන් කර තිබෙනවා.
ඕස්ට්‍රේලියානු සෞඛ්‍ය සේවා වෘත්තිකයන්ගෙන් 95% ක් පමණ ශාරීරික හා වාචික ප්‍රචණ්ඩත්වයේ ගොදුරු බවට පත්වී තිබෙන පසුබිමක මෙම තත්වය රෝගින්ටද අහිතකර ලෙස බලපාන බවයි ඔස්ට්‍රේලියානු වෛද්‍ය සංගමය (AMA) විසින් සදහන් කර ඇත්තේ.

ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) විසින් සදහන් කරන්නේ වෛද්‍ය වෘත්තිකයන්ගෙන් 38% ක් පමණ එක අවස්ථාවකදී හෝ ශාරීරික ප්‍රචණ්ඩත්වයට ලක්ව ඇති බවයි.