Search

ඔස්ට්‍රේලියානුවන්ට අලංකාර උල්කාපාත වර්ෂාවක් මේ දිනවල දැකගැනීමට අවස්ථාවක්

වාර්ෂික ලියොනිඩ් උල්කාපාත වර්ෂාව මේ සතියේ එහි උපරිම අවස්ථාවට ළඟා වන බැවින් ඔස්ට්‍රේලියානුවන්ට රාත්‍රී අහසේ පහසුවෙන් දැක ගැනීමට හැකිවන බවට දැනුම්දී තිබෙනවා.

මධ්‍යම රාත්‍රියෙන් පසු මෙම උල්කාපාත තත්පරයට කිලෝමීටර 70 ක වේගයෙන් පෘථිවි වායුගෝලය හරහා ගමන් කරන අතර, ඔස්ට්‍රේලියානුවන්ට ඉතා පැහැදිළිව ඒවා නැරඹීමට හැකි බවයි සඳහන් වන්නේ.

මොනෑෂ් විශ්ව විද්‍යාලයේ භෞතික විද්‍යා සහ තාරකා විද්‍යා මහාචාර්ය මයිකල් බ්‍රවුන් සඳහන් කළේ ලියෝනිඩ්ස් ඉතා දීප්තිමත් එකක් වන බවයි.

ලියොනිඩ් උල්කාපාත වර්ෂාව උතුරු හා දකුණු අර්ධගෝල දෙකෙහිම දිස්වන අතර නරඹන්නන්ට සාමාන්‍යයෙන් පැයකට උල්කාපාත 15ක් පමණ දැකගත හැකි වනු ඇති බවටයි අපේක්ෂා කෙරෙන්නේ.

එය අඛණ්ඩව උල්කාපාත වර්ෂාවක් නොවන අතර සෑම මිනිත්තු කිහිපයකට වරක් උල්කාපාතයක් දැක ගැනීමට හැකි වනු ඇති බව මහාචාර්ය මයිකල් බ්‍රවුන් ප්‍රකාශ කළා.

ලියොනිඩ් උල්කාපාත වර්ෂාව මෙම සතිය පුරා මධ්‍යම රාත්‍රියෙන් පසු පැය කිහිපය තුළ නැගෙනහිර අහසේ දිස් වෙන අතර අලුයම් කාලය දක්වා ඒවා දැක ගැනීමට හැකි බව සඳහන්.

උල්කාපාතවල හොඳම දර්ශනයක් ලබා ගැනීම සඳහා නගරයේ දීප්තිමත් විදුලි ආලෝකවලින් තොර දුරස්ථ අඳුරු ස්ථානයක් තෝරා ගන්නා ලෙසට ද මහාචාර්යවරයා දැනුම් දෙනවා.

ලියොනිඩ් උල්කාපාත වර්ෂාව සෑම වසරකම සිදුවන අතර නොවැම්බර් මාසයේ මැද භාගයේදී උපරිම දෘශ්‍යතාවට ළඟා වන බව සඳහන්.