Search

සිඩ්නි ස්ථාන රැසකට සරම්ප අනතුරු ඇඟවීමක්

සිඩ්නි හි සේවා ස්ථානයකට, වෛද්‍ය මධ්‍යස්ථානයකට සහ මත්පැන් අලෙවි සැලක් වෙත සරම්ප රෝගියෙකු පසුගිය සතියේ දී පැමිණීම හේතුවෙන් සිඩ්නි වෙත සරම්ප රෝග අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා.

මෑතකදී අග්නිදිග ආසියාවේ සිට පැමිණි මෙම ආසාදිත පුද්ගලයා විසින් සිඩ්නි හි බටහිර අභ්‍යන්තර ප්‍රදේශයේ පිහිටි ස්ථාන කිහිපයකට ගමන් කිරීමෙන් පසුව නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත සෞඛ්‍ය අංශ විසින් මෙම අනතුරු ඇඟවීම නිකුත් කර තිබෙන බව සදහන්.

නොවැම්බර් 7 වන දින පෙරවරු 6.15 සිට 7.00 දක්වා කාලසීමාව තුළ Metro Petroleum Enmore පාරට පැමිණි අයට සරම්ප රෝග ලක්ෂණ පිළිබදව විමසිල්ලෙන් පසුවන ලෙසට සෞඛ්‍ය අංශ වැඩිදුරටත් අනතුරු අඟවා තිබෙනවා.

මෙම ආසාදිත පුද්ගලයා නොවැම්බර් 7 වනදා පස්වරු 6.30 සිට රාත්‍රී 10.00 අතර කාලය තුළ Marrickville හි Philter Brewing Public Bar වෙත ද නොවැම්බර් 10 වනදා Marrickville හි වෛද්‍ය මධ්‍යස්ථානයක් වෙත ද පැමිණ තිබෙන බවටයි හදුනාගෙන ඇත්තේ.

උණ , අක්ෂි වේදනාව, කැස්ස මෙන්ම දින තුනකට හෝ හතරකට පසුව රතු ලප ඇතිවීම වැනි රෝග ලක්ෂණ ඇති පුද්ගලයන් ඒ පිළිබඳව සැලකිලිමත් වන ලෙස සෞඛ්‍ය අංශ විසින් සදහන් කර තිබෙනවා.

සාමාන්‍යයෙන් පුද්ගලයෙකුට රෝග ලක්ෂණ මතුවීම සදහා දින 18 ක පමණ කාලයක් ගතවන බැවින් සරම්ප රෝග ලක්ෂණ පවතින ඕනෑම රෝගියෙකු GP හෝ රෝහල වෙත කල් තියා ඒ පිළිබදව දැනුවත් කරන ලෙස සෞඛ්‍ය අංශ විසින් ඉල්ල සිටිනවා.