
වික්ටෝරියා ප්‍රාන්තයේ පාසල්වල 12 වසර විභාග අධීක්‍ෂණය කරන ආයතනය පිළිබඳ සමාලෝචනයක් කිරීමට ප්‍රාන්ත රජය නියෝග කර තිබෙනවා.
ඒ විභාගයට අදාළව ඇතැම් සිසුන්ට අන්තර්ජාලයේ ඇති ආදර්ශ ප්‍රශ්න පත්‍රවල වංචාවක් අනාවරණ වීම හේතුවෙන් බවයි සඳහන් වන්නේ.
විභාගයට පෙනී සිටි සිසුන් දහස් ගණනකට ඔවුන්ගේ අවසාන විභාගවලදී භාවිතා කළ ප්‍රශ්නවලට සමාන ප්‍රශ්න අඩංගු පත්‍රිකා ලැබීම පිළිබඳ ජනතාව කලකිරීමට පත්ව ඇති බව ප්‍රාන්ත අගමැතිනි ජසින්ටා ඇලන් අවධාරණය කළා.

මාධ්‍ය විසින් මුල් වරට හෙළි කරන ලද මෙම සිදුවීමට අදාළ ප්‍රශ්න පත්‍රවලට ව්‍යාපාර කළමනාකරණය, ගණිතය සහ නීති අධ්‍යයනය ඇතුළු විෂයයන් අටක් ඇතුලත් අතර එම විභාග මේ වන විටත් අවසන් වී තිබෙනවා.
වික්ටෝරියා ප්‍රාන්ත විෂයමාලා සහ තක්සේරු අධිකාරිය විසින් අන්තර්ජාලය හරහා ප්‍රකාශයට පත් කරන ලද මෙම පත්‍රිකා වර්ඩ් ඩොකියුමන්ට් එකකට ලබා ගත් විට එහි ප්‍රශ්න සහ පිළිතුරු මාලාවක් ඇති බවයි සඳහන් වන්නේ.
