Search

අමතක වූ මෙවලමක් එන්ජිමේ තබාගෙන පැය 300ක් ගමන් කළ Qantas යානය

නඩත්තු කටයුතු අතරතුර ඉංජිනේරු කාර්මික ශිල්පීන්ට අමතක වූ මෙවලමක් සහිත එන්ජිමක් සමග පැය 300කට අධික කාලයක් පියාසර කළ ක්වන්ටාස් ගුවන් යානයක් සම්බන්ධයෙන් තොරතුරු අනාවරණ වී තිබෙනවා.

එයාර්බස් A380 වර්ගයේ මෙම යානය 2023 වසරේ දෙසැම්බර් 6 වනදා ලොස් ඇන්ජලීස් ගුවන් තොටුපළේ සිදු කළ නඩත්තු කටයුතුවලින් පසුව කාර්මික ශිල්පීන්ට මෙම මෙවලම ලබා ගැනීමට නොහැකි වී ඇති බවයි සඳහන් වන්නේ.

එය වම්පස පිහිටි එක් එන්ජිමක සිරවී ඇති අතර එම මෙවලම තිබියදී ගුවන් යානය සාමාන්‍ය පරිදි දින 26ක් තුළ මගින් සමග ගුවන් ගමන් 34ක් සිදු කර තිබෙනවා.

ඔස්ට්‍රේලියා ප්‍රවාහන ආරක්ෂණ කාර්යාංශය වාර්තා කළේ මීටර් 1.25ක් දිග නයිලෝන් මෙවලම මෙම වසරේ ජනවාරි පළමු වනදා හමු වූ බවයි.

දෙසැම්බර් මාසයේ දින තුනක නඩත්තු කාලය අවසානයේ සිදු කළ පරීක්ෂාවේදී ද කම්කරුවන්ට එය තැබූ ස්ථානයෙන් නැවත ලබා ගැනීමට නොහැකි වී තිබුණා.

එන්ජිමේ ක්‍රියාකාරීත්වය හේතුවෙන් මෙම මෙවලම විකෘති වී ඇති අතර එන්ජිමට කිසිදු හානියක් සිදුවී නොමැති බව සඳහන්.

මෙම සිදුවීමෙන් අනතුරුව නඩත්තු කාලයෙන් පසු සියලුම මෙවලම් ආපසු ලබා දීම සහ ඒවා ලේඛණගත කිරීමේ වැදගත්කම පිළිබඳව ක්වන්ටාස් ඉංජිනේරු කාර්ය මණ්ඩලය දැනුවත් කර තිබෙනවා.