
විදේශගත ශ්‍රී ලාංකිකයන්ගේ පහසුව සඳහා විදේශ රටවල පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාල මගින් උප්පැන්න, විවාහ හා මරණ සහතික පිටපත් නිකුත් කිරීමට රජය සැලසුම් කර තිබෙනවා.
මෙම වැඩසටහන නියමු ව්‍යාපෘතියක් ලෙස තෝරාගත් විදේශ තානාපති සහ කොන්සල් ජනරාල් කාර්යාල 7ක් හරහා ක්‍රියාත්මක කිරීමට නියමිතයි.
ඒ අනුව, ඔස්ට්‍රේලියාවේ සිටින ඔබට මෙල්බන් හි කොන්සල් ජනරාල් කාර්යාලයෙන් ඉදිරියේ දී ශ්‍රී ලංකාව තුළදී ඕනෑම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයක් මගින් උප්පැන්න, විවාහ හා මරණ සහතික ලබා ගැනීමට හැකි ආකාරයෙන් ලබා ගැනීමේ අවස්ථාව හිමිවනවා.
මෙල්බන් පමණක් නොව කුවේට්, ජපාන හා කටාර් තානාපති කාර්යාල සහ කැනඩාවේ ටොරොන්ටෝ, ඉතාලියේ මිලාන්, ඩුබායි කොන්සල් ජනරාල් කාර්යාල හරහා මෙම නියමු ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට අපේක්‍ෂා කරන බවයි ජනාධිපති කාර්යාලය පවසන්නේ.

ශ්‍රෙජිස්ටර් ජනරාල් දෙපාර්තමේන්තුව හා විදේශ කටයුතු අමාත්‍යාංශය එක්ව පවත්වාගෙන යනු ලබන e- BMD දත්ත පද්ධතිය වැඩි දියුණු කිරීමට මේවන විට කටයුතු කර තිබෙනවා .
ඒ අනුව, මුල් අදියරේ දී e-BMD දත්ත පද්ධතිය දැනට පරිලෝකනය කර (PDF කර) ගබඩා කර ඇති මිලියන 45 කට ආසන්න උපත්, විවාහ හා මරණ සහතික පමණක් නිකුත් කිරීම සිදු කරනු ඇති බවයි සඳහන් වන්නේ.

මෙම සහතික 1960.01.01 දිනට පසු ලියාපදිංචි කර ඇති සහතික වන අතර දත්ත පද්ධතියේ මුල් අවස්ථාවේදී පරිලෝකනය වූ සහතිකයක් පසුව සංශෝධනය වී ඇත්නම් එවැනි සහතික ඇතැම් අවස්ථාවන්හි දී දත්ත පද්ධතිය තුළ යාවත්කාලීන වීමේ සුළු ප්‍රමාදයක් පැවතිය හැකි බව ජනාධිපති කාර්යාලය පවසනවා.