
උත්සව, සංගීත ප්‍රසංග හා වෙනත් සැමරුම් සඳහා සුදුසු නිර්ණායකයන්ට යටත්ව ගාලු මුවදොර පිටිය භාවිත කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.
ඒ අනුව ‘පිරිසිදු හා හරිත ගාලු මුවදොර පිටියක්’ යන සංකල්පය මත පදනම්ව ගාලු මුවදොර පරිපාලනය වඩාත් ක්‍රමවත් හා විනිවිදභාවයෙන් යුතුව සිදු කිරීමට අවශ්‍ය පියවර ගන්නා බවයි කැබිනට් මාධ්‍ය ප්‍රකාශක විජිත හේරත් ප්‍රකාශ කළේ.
ගාලුමුවදොර පිටිය ආගමික කටයුතු හැර වෙනත් කටයුතු සඳහා භාවිත කිරීම පිණිස අවසර ලබා නොදීම සඳහා පසුගිය වසරේ අප්‍රේල් මාසයේ පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමකදී තීරණයක් ගෙන තිබූ බව සඳහන්.

ගාලුමුවදොර පිටිය පරිපාලනය හා නඩත්තුව සඳහා මාසිකව ආසන්න වශයෙන් රුපියල් මිලියන 2.5ත් 3ත් අතර පිරිවැයක් දැරීමට සිදු වනවා.
එම මුදල ආවරණය කර ගැනීමට සහ 2023 වසරට පෙර පැවති ආකාරයෙන් දෙස් විදෙස් සංචාරකයින්ට නිදහසේ ගැවසිය හැකි වඩාත් ආකර්ෂණීය හා ආරක්ෂිත ස්ථානයක් වශයෙන් මෙය පවත්වාගෙන යාම රජයේ අරමුණයි.

එමෙන්ම ජනතාවට නිදහසේ සහභාගි වීමට අවකාශ සලසන උත්සව, සංගීත ප්‍රසංග සහ වෙනත් සැමරුම් සඳහා සුදුසු නිර්ණායකයන්ට යටත්ව ගාලු මුවදොර පිටිය භාවිත කිරීමට අවස්ථාව සලසා දීම සුදුසු බව පෙනී ගොස් ඇති බව අමාත්‍ය විජිත හේරත් ප්‍රකාශ කළා.