2024 ජනාධිපතිවරණ ඡන්ද විමසීමට අදාළ ප්‍රතිඵල විශේෂ මැතිවරණ විකාශයක් ඔස්සේ සජීවීව ඔබ වෙත ගෙන ඒමට AusLanka TV මාධ්‍ය ආයතනය සියලු කටයුතු සූදානම් කර තිබෙනවා.
අද පස්වරු 4ට අවසන් වූ ඡන්ද ප්‍රකාශයේ නිල මැතිවරණ ප්‍රතිඵල නිකුත් වූ සැණින් AusLanka TV සහ AusLanka රේඩියෝ නාලිකා ඔස්සේ ඔබ වෙත ලබාදීමටයි අප සැලසුම් කර ඇත්තේ.
මැතිවරණ මහ කොමසාරිස් කාර්යාලය මගින් නිල ඡන්ද ප්‍රතිඵල නිකුත් කළ සැනින් අති නවීන තාක්ෂණය උපයෝගී කර ගනිමින් AusLanka TV facebook, AusLanka TV YouTube, AusLanka Live app එක මගින් මෙන්ම AusLanka TV වෙබ් අඩවිය ඔස්සේ ඔබට ලබාදීමට අප සූදානම්.
ශ්‍රී ලංකාවේ 9 වන විධායක ජනාධිපතිවරයා තෝරා පත් කර ගැනීමට අදාළ ජනාධිපතිවරණ ඡන්ද විමසීම පස්වරු 4ට අවසන් කෙරුණා.
අද උදෑසන 7 ට ආරම්භ වූ ඡන්ද විමසීම සමස්තයක් ලෙස සාමකාමීව පැවති බවයි සඳහන් වන්නේ.
ඡන්ද ප්‍රකාශයෙන් අනතුරුව ගණන් කිරීමේ මධ්‍යස්ථාන 1,713කදී ඡන්ද ගණන් කිරීම් ආරම්භ කරන බවයි මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේ.
වැඩිම ලියාපදිංචි ඡන්ද දායකයින් සිටින ගම්පහ, කොළඹ, කුරුණෑගල වැනි දිස්ත්‍රික්ක ද ඇතුලත්ව සියලුම ප්‍රදේශවල ජනතාව ඉතා උද්යෝගයෙන් ඡන්ද මධ්‍යස්ථාන වෙත පැමිණි බව සඳහන්.
ස්වාධීන ජනාධිපති අපේක්ෂක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කොළඹ විශ්ව විද්‍යාලයේදී ඡන්දය ප්‍රකාශ කළ අතර සර්වජන පක්ෂයේ ජනාධිපති අපේක්ෂක දිලිත් ජයවීර මිරිහාන ශ්‍රී චන්ද්‍රාරාම විහාරස්ථානයේදී ඡන්දය ප්‍රකාශ කළා.
ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මරදාන අබේසිංහාරාමයේදී ඡන්දය ප්‍රකාශ කිරීම සිදු කළ අතර සජිත් ප්‍රේමදාස සිය ඡන්දය ප්‍රකාශ කළේ රාජගිරිය විවේකාරමයේදී යි.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂක නාමල් රාජපක්ෂ මැදමුලන ප්‍රදේශයේදී ඡන්දය ප්‍රකාශ කිරීමට එක්ව සිටියා.
ඡන්ද මධ්‍යස්ථාන 13,421කදී ඡන්ද විමසීම පැවැත්වූ අතර ඡන්ද විමසීම අවසන් වීමත් සමග ඡන්ද පෙට්ටි ගණන් කිරීමේ මධ්‍යස්ථාන වෙත රැගෙන යමින් පවතින බවයි මැතිවරණ කොමසාරිස් කාර්යාලය නිවේදනය කළේ.
මෙවර ඡන්ද ප්‍රකාශය සඳහා එක්කෝටි හැත්තෑඑක් ලක්ෂයකට වැඩි පිරිසක් සුදුසුකම් ලබා තිබූ අතර දහවල් 12 වනවිට ඡන්දය ප්‍රකාශ කිරීමේ ප්‍රතිශතය සියයට 45 ඉක්මවා තිබූ බව මැතිවරණ නිරීක්ෂකයන් සඳහන් කළා.
මේ අතර ජනාධිපතිවරණයේ ප්‍රදේශ මට්ටමින් ප්‍රතිඵල මධ්‍යම රාත්‍රී 12ට පෙර නිකුත් කිරීමට හැකිවනු ඇතැයි මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක ප්‍රකාශ කළා.
මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් ඔහු කියාසිටියේ දිවයිනේ සියලුම ඡන්ද ගණන්කිරීමේ මධ්‍යස්ථානවල ඡන්දය ගණන්කිරීමේ කටයුතු රාත්‍රී 8ත් 9ත් අතර ආරම්භ කිරීමට හැකිවනු ඇති බවයි.
දිවයිනේ සෑම ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථානයකම ගණන් කිරීමේ කටයුතු ආරම්භ කරනු ලබන්නේ එම ප්‍රදේශයට අයත් සෑම ඡන්ද මධ්‍යස්ථානයකම ඡන්ද පෙට්ටි ලැබුණු පසුව බව ද මැතිවරණ කොමසාරිස්වරයා ප්‍රකාශ කළා.
දිවයිනේ පිහිටි ගණන්කිරීමේ මධ්‍යස්ථාන 429කදී තැපැල් ඡන්ද ගණනය කිරීම සිදුවන අතර එම කටයුතු පස්වරු 4ට ආරම්භ කරන බවයි ඔහු කියාසිටියේ.