අද උදෑසන 7 ට ආරම්භ වූ ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරණ ඡන්ද විමසීම මේ වන විට සාමකාමීව සිදුවන බව වාර්තා වනවා.
වැඩිම ලියාපදිංචි ඡන්ද දායකයින් සිටින ගම්පහ, කොළඹ, කුරුණෑගල වැනි දිස්ත්‍රික්ක ද ඇතුලත්ව සියලුම ප්‍රදේශවල ජනතාව ඉතා උද්යෝගයෙන් ඡන්ද මධ්‍යස්ථාන වෙත පැමිණෙමින් සිටින බව සඳහන්.
මෙවර ඡන්ද ප්‍රකාශය වෙනුවෙන් වන නිරීක්ෂණ කටයුතු සඳහා දේශීය මෙන්ම විදේශීය නිරීක්ෂකයින් ද එක්ව තිබෙනවා.
අද පස්වරු 4වන තෙක් ඡන්දදායකයින්ට තම ඡන්දය භාවිත කිරීමේ හැකියාව පවතිනවා.
මේ අතර ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ඡන්ද දායකයින් උනන්දුවෙන් ඡන්ද මධ්‍යස්ථාන වෙත පැමිණෙමින් ඇති බව පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි සඳහන් කළා.
මැතිවරණ දිනයේ සාමකාමී බවක් නිරීක්ෂණය වන බවයි අද උදෑසන මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු කියාසිටියේ.
දහවල් වන විට ඡන්ද දායකයින් රැසක් සිය ඡන්දය භාවිතා කරනු ඇති බව ඔහු විශ්වාසය පළ කරනවා.
මේ අතර ජනාධිපතිවරණ ඡන්ද විමසීමේ ආරක්ෂක කටයුතු ඉතා හොඳින් මේ වන විට ක්‍රියාත්මක වන බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් පවසනවා.
අද (21) පෙරවරුවේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ, පොලිසිය සහ ත්‍රිවිධ හමුදාව ආරක්ෂක කටයුතු සඳහා යොදවා ඇති බවයි.
ඡන්ද විමසීම සිදුවන අතරවාරයේ මෙන්ම ඉන් අනතුරුව ද සාමකාමීව කටයුතු කරන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින අතර කිසිඳු ප්‍රචණ්ඩත්වයකට ඉඩ නොතබන බවයි මහජන ආරක්ෂක අමාත්‍යවරයා අවධාරණය කළේ.