ශ්‍රී ලංකාවේ 9 වන විධායක ජනාධිපතිවරයා තෝරා පත් කර ගැනීමේ ජනාධිපතිවරණ ඡන්ද විමසීම අද උදෑසන 7ට ආරම්භ කෙරුණා.
පෙරවරු 7 සිට පස්වරු 4 දක්වා ඡන්ද මධ්‍යස්ථාන 13,421කදී ඡන්ද විමසීම පැවැත්වෙන බවයි මැතිවරණ කොමසාරිස් කාර්යාලය නිවේදනය කළේ.
මෙවර ඡන්ද ප්‍රකාශය සඳහා ඡන්ද දායකයන් එක්කෝටි හැත්තෑඑක් ලක්ෂයකට වැඩි පිරිසක් (171,40,354) සුදුසුකම් ලබා ඇති බව සඳහන්.
වැඩිම අපේක්ෂකයන් පිරිසක් තරග බිමට පිවිසි ජනාධිපතිවරණය ලෙස ඉතිහාසයට එක්වූ මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත්ව සිටින අපේක්ෂකයන් සංඛ්‍යාව 38ක්.
ඒ සඳහා අපේක්ෂකයින් 39 දෙනෙකු ඉදිරිපත් වී තිබුණ ද අපේක්ෂකයෙක් වූ මොහොමඩ් ඉල්ලෙයාස් ගේ අභාවය හේතුවෙන් එම සංඛ්‍යාව 38 දක්වා අඩු වුණා.
ඡන්ද ප්‍රකාශයෙන් අනතුරුව ගණන් කිරීමේ මධ්‍යස්ථාන 1,713කදී පස්වරු 4.15 සිට ඡන්ද ගණන් කිරීම් ආරම්භ කරන බවයි මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේ.
මෙවර ජනාධිපතිවරණයේ මැතිවරණ දිස්ත්‍රික්ක 22 අතරින් වැඩිම ඡන්දදායකයින් සහිත දිස්ත්‍රික්කය බවට ගම්පහ දිස්ත්‍රික්කය පත්ව ඇති අතර එම දිස්ත්‍රික්කයේ ලියාපදිංචි ඡන්ද දායකයින් සංඛ්‍යාව 1,881,129 දෙනෙකු බව සඳහන්.
කොළඹ දිස්ත්‍රික්කයේ ලියාපදිංචි ඡන්දදායකයින් සංඛ්‍යාව 1,765,351ක්.
කුරුණෑගල දිස්ත්‍රික්කයේ ලියාපදිංචි ඡන්දදායකයින් සංඛ්‍යාව 1,417,226ක් වන අතර මහනුවර දිස්ත්‍රික්කයේ ඡන්දදායකයින් සංඛ්‍යාව 1,191,399ක් වනවා.
කළුතර දිස්ත්‍රික්කයෙන් 1,024,244ක්, රත්නපුර දිස්ත්‍රික්කයෙන් 923,736ක්, ගාල්ල දිස්ත්‍රික්කයෙන් 903,163ක්, අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් 741,862ක්, සහ කෑගල්ල දිස්ත්‍රික්කයෙන් 709,622ක් වශයෙන් ඡන්දය භාවිත කිරීමට සුදුසුකම් ලබා තිබෙනවා.
බදුල්ල දිස්ත්‍රික්කයේ ලියාපදිංචි ඡන්දදායකයින් සංඛ්‍යාව 705,772ක් මාතර දිස්ත්‍රික්කයේ 686,175ක්, පුත්තලම දිස්ත්‍රික්කයේ 663,673ක් සහ නුවරඑළිය දිස්ත්‍රික්කයේ 605,292 දෙනෙකු ඡන්දය භාවිත කිරීමට සුදුසුකම් ලබා ඇති බව සඳහන්.
දිගාමඩුල්ල දිස්ත්‍රික්කයේ ඡන්දදායකයින් සංඛ්‍යාව 555,432 දෙනෙකු වන අතර හම්බන්තොට දිස්ත්‍රික්කයේ ලියාපදිංචි ඡන්දදායකයින් සංඛ්‍යාව 520,940ක්.
මඩකලපුව දිස්ත්‍රික්කයේ ලියාපදිංචි ඡන්දදායකයින් සංඛ්‍යාව 449,686ක්.
මාතලේ දිස්ත්‍රික්කයෙන් මෙවර ජනාධිපතිවරණය සඳහා ඡන්දය භාවිත කිරීමට ඡන්ද දායකයින් 429,991 දෙනෙකු සුදුසුකම් ලබා ඇති අතර මොනරාගල දිස්ත්‍රික්කයේ එම සංඛ්‍යාව 399,166ක් වනවා.
පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ඡන්දදායකයින් සංඛ්‍යාව 351,302 දෙනෙකු වන අතර ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ ඡන්දදායකයින් සංඛ්‍යාව 315,925 දෙනෙකු ලෙසටයි සඳහන් වන්නේ.
අඩුම ඡන්ද දායකයින් පිරිසක් සහිත මැතිවරණ දිස්ත්‍රික්කය බවට පත්ව ඇත්තේ වව්නියාව, මන්නාරම සහ මුලතිව් ඇතුළත් වන්නි මැතිවරණ දිස්ත්‍රික්කය වන අතර එහි ඡන්දදායකයින් සංඛ්‍යාව 306,081ක් බව මැතිවරණ කොමිෂන් සභාව පෙන්වා දී තිබේ.
මෙවර ජනාධිපතිවරණය සඳහා ලියාපදිංචි වැඩිම ඡන්දදායකයින් පිරිසක් සහිත ඡන්ද බලප්‍රදේශය බවට පත්ව ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයට අයත් හෝමාගම ඡන්ද බල ප්‍රදේශය වන අතර එහි ලියාපදිංචි ඡන්ද දායකයින් සංඛ්‍යාව 215,075ක්.
මේ අතර ඡන්ද මධ්‍යස්ථාන ආවරණය වන පරිදි පොලිස් නිලධාරීන් 63,000ක් ඍජුවම ආරක්ෂාව වෙනුවෙන් යොදවා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව පවසනවා.
ඊට අමතරව කැරලි මර්දන කණ්ඩායම් 241ක් ද සුදානමින් සිටින බවයි මාධ්‍ය වෙත අදහස් දක්වමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ.
මීට අමතරව, ත්‍රිවිධ හමුදා නිලධාරීන් 11,000ක් පොරොත්තු සේවයේ යොදවා ඇති අතර යම් අවශ්‍යතාවයක් ඇති වුවහොත් ඔවුන් කැඳවීමේ හැකියාව පවතින බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළා.
පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් 3,000කට අදාළ පිරිසක් ද මැතිවරණ රාජකාරීවල යොදවා ඇති අතර සිවිල් ආරක්ෂක බළකායේ නිලධාරීන් 13,000ක පමණ පිරිසකගේ සහයෝගය ද ජංගම මුර සංචාර සඳහා ලබාදෙන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ.
මේ අතර ජනාධිපතිවරණ ඡන්ද විමසීමට අදාළ ප්‍රතිඵල විශේෂ මැතිවරණ විකාශයක් ඔස්සේ සජීවීව ඔබ වෙත ගෙන ඒමට AusLanka TV මාධ්‍ය ආයතනය සියලු කටයුතු සූදානම් කර තිබෙනවා.
නිල මැතිවරණ ප්‍රතිඵල නිකුත් වූ සැණින් AusLanka TV සහ AusLanka රේඩියෝ නාලිකා ඔස්සේ ඔබ වෙත ලබාදීමටයි අප සැලසුම් කර ඇත්තේ.
මැතිවරණ මහ කොමසාරිස් කාර්යාලය මගින් නිල ඡන්ද ප්‍රතිඵල නිකුත් කළ සැනින් අති නවීන තාක්ෂණය උපයෝගී කර ගනිමින් AusLanka TV facebook, AusLanka TV YouTube, AusLanka Live app එක මගින් මෙන්ම AusLanka TV වෙබ් අඩවිය ඔස්සේ ඔබට ලබාදීමට අප සූදානම්.