ඉදිරි මාස 12ක කාලයක් තුල පොලී අනුපාත කප්පාදු හතරක් සිදු වන බවට ඔස්ට්‍රේලියා කොටස් වෙළඳපල හුවමාරුව (ASX) පුරෝකථනය කර තිබෙනවා.
විචාරකයන් පෙන්වා දෙන්නේ පොලී අනුපාත පිළිබඳ ඔස්ට්‍රේලියානු කොටස් වෙළෙඳපොළ ඉදිරිපත් කර ඇති පුරෝකථනය නිවැරදි නම් එය මෙරට උකස් හිමියන්ට මාසයකට ඩොලර් සිය ගණනක් ඉතිරි කර ගත හැකි පියවරක් වනු ඇති බවයි.
2022 වසරේ දී සංචිත බැංකුව පොලී අනුපාත ඉහල දැමීම් ආරම්භ කිරීමෙන් පසු පළමු වරටයි මෙලෙස ඉදිරි මාස 12 තුළ පොලී අනුපාත කප්පාදු හතරක් සිදු වනු ඇති බවට අනාවැකි පළ වන්නේ.
කොටස් වෙළෙඳපොළ වාර්තා ඊයේ ප්‍රකාශ කළේ ලබන 2025 වසරේ පෙබරවාරි මාසයේදී සියයට 0.25ක පොලී අනුපාත කප්පාදුවක් සිදුවනු ඇති අතර අගෝස්තු මාසය වන විට තවත් කප්පාදු 3ක් සිදු වනු ඇති බවයි.
මෙම පොලි අනුපාත කප්පාදු සාමාන්‍ය පරිදි සිදු වුව හොත් ලබන වසරේ මෙම කාලය වන විට නිල මුදල් අනුපාතය සියයට 4.35 සිට සියයට 3.35 දක්වා පහත වැටෙනු ඇති බවයි සඳහන් වන්නේ.
ඔස්ට්‍රේලියානු සංඛ්‍යාලේඛන කාර්යාංශයේ දත්ත පෙන්නුම් කරන්නේ මේ වන විට මෙරට උකස් හිමියන්ගේ සාමාන්‍ය උකස් මුදල ඩොලර් 641,143ක් බවයි.
සම්පුර්ණ පොලි අනුපාත පහත වැටීමක් සමග සාමාන්‍ය නිවාස හිමියෙකු තම උකස් මුදල් මගින් වසරකට ඩොලර් 5076ක් ඉතිරි කර ගැනීමට හැකිවනු ඇතැයි Finder වෙබ් අඩවිය පෙන්වා දෙනවා.
Finder පාරිභෝගික පර්යේෂණ ප්‍රධානී ග්‍රැහැම් කුක් සඳහන් කළේ උකස් ණය ආපසු ගෙවීම් සමඟ අරගල කරන නිවාස හිමියන්ට මෙම පොලී අනුපාත කප්පාදු හතර මගින් සැලකිය යුතු සහනයක් හිමි වනු ඇති බවයි,
කෙසේවෙතත් මෙය අනාවැකියක් පමණක් බැවින් අනාගත තීරණය තවමත් අවිනිශ්චිත බව මතක තබා ගත යුතු බවයි ඔහු අවධාරණය කළේ.