සූදු ක්‍රීඩා හේතුවෙන් ලොව විශාලතම පාඩුව ලබා ඇත්තේ ඔස්ට්‍රේලියානුවන්ට බව නව වාර්තාවකින් හෙළි වී තිබෙනවා.
සූදු ක්‍රීඩා කර්මාන්තයට ප්‍රමිතියක් හෝ රජයෙන් නිසි සොයා බැලීමක් නොමැති වීම හේතුවෙන් ඔස්ට්‍රේලියානුවන් ලොව විශාලතම සූදු පරාජිතයින් බවට පත් කර ඇති බවයි අදාළ වාර්තා පෙන්වා දෙන්නේ.
Grattan ආයතනයේ නව වාර්තාවකට අනුව සාමාන්‍ය ඔස්ට්‍රේලියානු වැඩිහිටියෙකු වසරකට ඩොලර් 1635ක් සූදුව සඳහා යොදවන බව හෙළිවී තිබෙනවා.
එය මෙරට බොහෝ පවුල් ඒකක විදුලිය සඳහා ගෙවන මුදලට ද වඩා වැඩි මුදලක් වන අතර ඇමරිකාව සහ නවසීලන්තය වැනි සමාන රටවල සාමාන්‍ය වියදම් ද ඉක්මවා යාමක් බවයි සඳහන් වන්නේ.
2020-2021 මුල්‍ය වර්ෂයේදී ඔස්ට්‍රේලියානුවන්ට සූදුව හේතුවෙන් ඩොලර් බිලියන 24ක් අහිමි වී ඇති අතර ඉන් ඩොලර් බිලියන 12ක් අහිමි වී ඇත්තේ පෝකර් යන්ත්‍ර මගින් කෙරෙන සුදූ ක්‍රීඩාවලින් බව වාර්තාව මගින් හෙළි කර තිබෙනවා.
ඉතිරිය ඩොලර් බිලියන 12 වෙනත් සුදූ ක්‍රීඩා, රේස් ඔට්ටු ඇල්ලීම, කැසිනෝ ශාලා සහ ලොතරැයි හේතුවෙන් අහිමි වී ඇති බවයි පැවසෙන්නේ.
ඔස්ට්‍රේලියාව පුරා තැපැල් පෙට්ටි සහ පොදු වැසිකිලිවලට වඩා පෝකර් යන්ත්‍ර බහුලව දක්නට ලැබෙන බව ද වාර්තාව ප්‍රකාශ කර තිබෙනවා.
නෝර්තන් ටෙරිටරි (NT) සහ නිව් සවුත්වේල්ස් ප්‍රාන්තවල පුද්ගලයින්ට වැඩිපුරම මුදල් අහිමි වී ඇති අතර පෝකර් යන්ත්‍ර වැඩිම ප්‍රමාණයක් ඇති එම ප්‍රාන්ත දෙක ලෙසටයි ඒවා සැලකෙන්නේ.
සූදු ක්‍රීඩා සැලසුම් කර ඇත්තේ ඇබ්බැහි වීම සඳහා වන අතර එහි ප්‍රතිවිපාක ව්‍යසනකාරී විය හැකි බවට ද වාර්තාව මගින් අනතුරු අඟවා තිබෙනවා.
රැකියා අහිමි වීම, බංකොලොත්භාවය, සබඳතා බිඳ වැටීම, පවුල් ප්‍රචණ්ඩත්වය, සියදිවි නසාගැනීම් පවා සිදු විය හැකි බවටයි වාර්තාව මගින් අවධාරණය කර ඇත්තේ.
අදාළ වාර්තාව මගින් සියලුම සූදු දැන්වීම් තහනම් කිරීමට ෆෙඩරල් රජයට නිර්දේශ කර ඇති අතර කාලයත් සමඟ එක් එක් ප්‍රාන්තයේ පෝකර් යන්ත්‍ර ගණන අඩු කිරීමට ඉල්ලා තිබෙනවා.