කොවිඩ් වසංගතයෙන් පසු ලෝකයේ ප්‍රධාන නගර රැසක විවිධ මට්ටම්වල සේවකයින් නැවත කාර්යාලයට පැමිණෙමින් සිටින බව නව වාර්තාවක් මගින් සොයාගෙන තිබෙනවා.
වසංගත තත්වය හේතුවෙන් නිවසේ සිට රැකියාවේ නිරත වීමට ලබාදී තිබූ අවස්ථාවන් මත බොහෝ දෙනෙකු එම සංකල්පය අනුගමනය කළ ද වර්තමානයේ යළිත් ක්‍රමයෙන් කාර්යාලයීය සේවයට හුරු වෙමින් සිටින බවයි සඳහන් වන්නේ.
නැවත කාර්යාලයීය සේවයට පැමිණෙන සේවකයින් සිටින ලොව ප්‍රමුඛ නගර අතරට ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නගරය ද ඇතුලත්ව තිබීම විශේෂත්වයක්.
මෙම ලයිස්තුවේ පළමු ස්ථානයට පැමිණ ඇත්තේ සතියකට දින 3.5ක් කාර්යාලයට පැමිණෙන කම්කරුවන් සිටින ප්‍රංශයේ පැරිස් නගරයයි.
ප්‍රංශ අගනුවර මෙලෙස ඉහළම ස්ථානයට පැමිණීමට හේතුව වී ඇත්තේ සේවා ස්ථානයට පැමිණෙන කාර්ය මණ්ඩලයට ගමන් වියදම් සහනාධාර ලබා දිය යුතු බවට පනවා ඇති නීති හේතුවන බවයි ප්‍රවීණයන් පවසන්නේ.
සිංගප්පූරුව දෙවන ස්ථානයට පැමිණ ඇති අතර එරට සේවකයන් සතියට දින 3.2ක් කාර්යාලයට පැමිණෙන බව සඳහන්.
ඇමරිකාවේ නිව් යෝර්ක් නගරය තුන්වන ස්ථානයේ පසුවන අතර සේවකයන්ට නැවත කාර්යාලයට පැමිණෙන ලෙස ආයතන ප්‍රධානීන් විසින් වඩාත් දැඩිව ඉල්ලා සිටි නගරයක් ලෙසට ද එය සැලකෙනවා.
කෙසේවෙතත් නිව් යෝර්ක් නගරයේ කම්කරුවන් සාමාන්‍යයෙන් සතියට දින 3.1ක් කාර්යාලයීය සේවයට පැමිණෙන අතර එය කොවිඩ් වසංගතයට පෙර කාලයට සමාන මට්ටමක පවතින බවයි සඳහන් වන්නේ.
හතරවන ස්ථානයට පැමිණ ඇති සිඩ්නි නගරයේ පූර්ණ කාලීන සහ අර්ධකාලීන සේවකයින් සතියකට දින 2.8ක සාමාන්‍යයක් කාර්යාලයේ සිට සේවයේ නිරතවන බව සඳහන්.
පර්යේෂණයට අනුව සිඩ්නිහි සේවා යෝජකයින්ගෙන් සියයට 50ක් පමණ නැවත කාර්යාලයට පැමිණෙන ලෙසට සේවකයන්ට කළ නියෝග හේතුවෙන් කම්කරුවන් සේවයෙන් ඉවත් වීමට ද හේතු වනු ඇති බවටයි කනස්සල්ලක් මතුවී ඇත්තේ.
මෙම ලයිස්තුවේ 5 වන ස්ථානය ලන්ඩන් නුවරටත් 6 වන ස්ථානය කැනඩාවේ වඩාත්ම ජනාකීර්ණ නගරය වන ටොරොන්ටෝ වලටත් හිමිවී තිබෙනවා.
ලන්ඩන් නගරයේ සේවකයින්ට කාර්යාලයට ගමන් කිරීම සඳහා පාපැදි ගමන් මාර්ග සහ පුළුල් බස් ජාලයක් වැනි ප්‍රවාහන විකල්ප ඕනෑ තරම් තිබියදීත් ඔවුන් පූර්ණ කාලීනව සේවයට යාමට මැලිකමක් දක්වන බව ද සඳහන්.