ඉතිහාසයේ තිබූ තත්වයට සාපේක්ෂව ඕස්ට්‍රේලියානුවන් නිවාස ණය හේතුවෙන් ගැටලු රැසකට මුහුණදී සිටින බවට නව සමීක්ෂණයකින් අනාවරණ වී තිබෙනවා.
උකස් ආතතිය පෙර නොවූ විරූ ආකාරයෙන් වැඩි වී ඇති අතර පසුගිය අගෝස්තු මාසයේ පැවති දත්තවලට අනුව සෑම නිවාස ණය හිමියන් පස් දෙනෙකුගෙන් දෙදෙනෙකුට වඩා පිරිසක් ඔවුන්ගේ නිවාස ණය ගෙවීමට අරගලයක නිරත වන බවයි සඳහන් වන්නේ.
සංසන්දනාත්මක පර්යේෂණ වෙබ් අඩවියක් වන ෆයින්ඩර් විසින් සිදු කරනු ලැබූ නව පර්යේෂණයකින් පෙන්නුම් කර ඇත්තේ පසුගිය අගෝස්තු මාසයේ ඔස්ට්‍රේලියානුවන්ගෙන් සියයට 45කට උකස් ගෙවීම් නියමිත පරිදි සිදු කිරීමට අපහසු වූ අතර තවත් සියයට 13 කට පසුගිය මාස හය තුළ ගෙවීම් එකක් හෝ කිහිපයක් මග හැරී ඇති බවයි.
එය 2018 දී Finder දත්ත වාර්තාකරණය ආරම්භ කිරීමෙන් පසු වාර්තා වූ ඉහළම මට්ටම ලෙසටයි සැලකෙන්නේ.
එමෙන්ම උකස් කර ඇති නිවාසවල ජීවත් වන ජනතාව ද ඉහළ පොලි අනුපාතයක් තිබියදීත් අතීතයට සාපේක්ෂව විශාල ණය මුදල් ලබා ගන්නා බව සඳහන්.
සාමාන්‍ය නිවාස හිමිකරුවෙකුගේ උකස් මුදල මේ වන විට ඩොලර් 634,479ක් වන අතර එය පසුගිය ජූලි මාසයේ සිට සියයට 1.3 කින් සහ 2023 වසරට වඩා සියයට 9.3 කින් ඉහළ ගොස් තිබෙනවා.
ෆයින්ඩර් හි නිවාස ණය පිළිබඳ විශේෂඥ රිචඩ් විටන් පැවසුවේ බොහෝ ඔස්ට්‍රේලියානුවන් තම නිවාස ණය සඳහා ආදායමෙන් විශාල මුදලක් වැය කරන බවයි.
මෙවැනි තත්වයක් මත නිවාස යනු ඔස්ට්‍රේලියානුවන්ගේ මුල්‍ය ආතතියේ ප්‍රධාන මූලාශ්‍රයක් බවට පත්වෙමින් ඇති බවයි සඳහන් වන්නේ.
විශේෂඥ රිචඩ් විටන් පෙන්වා දෙන්නේ තම නිවාස ණයට ගෙවිය යුතු මුදල වැටුපෙන් සියයට 30කට වඩා වැඩි නම් එම කණ්ඩායම් නිවාස මුල්‍ය ආතතිය අත්විඳින බවයි.
මේ වන විට 14,000කට ආසන්න උකස් හිමියන් පිරිස පසුගිය ජුනි මාසයේදී ඔවුන්ගේ වත්මන් ණය දෙන මුල්‍ය ආයතන සමග වඩා හොඳ පොලි අනුපාතයක් පිළිබඳ සාකච්ඡා කර ඇති බවයි සංඛ්‍යාලේඛන කාර්යාංශ දත්තවල දැක්වෙන්නේ.