වර්තමාන ඔස්ට්‍රේලියාවේ පාසල් වයසේ යෞවනයන්ගේ ශාරීරික යෝග්‍යතාව දුර්වල මට්ටමක තිබීම හේතුවෙන් අනාගතයේදී ඔවුන් ක්‍රීඩා තරගවල ප්‍රේක්ෂකයන් බවට පත්වීමේ අවදානමක් පවතින බවට නව සමීක්ෂණයකින් හෙළිවී තිබෙනවා.
මෙවර පැරිස් ඔලිම්පික් උළෙල ඔස්ට්‍රේලියානුවන්ගේ වඩාත්ම සාර්ථක ඔලිම්පික් ක්‍රීඩා උළෙල බවට ආඩම්බරයෙන් පසුවුව ද අනාගත ඔස්ට්‍රේලියානු පරම්පරාව ප්‍රේක්ෂකයන්ගේ ජාතියක් වීමේ අවදානමක් ඇති බවයි විශේෂඥයන් පෙන්වා දෙන්නේ.
නිව් සවුත් වේල්ස් හි නිව්කාසල් විශ්ව විද්‍යාලයේ මහාචාර්ය ඩේවිඩ් ලුබන්ස් සඳහන් කළේ බොහෝ පාසල්වල සිසුන්ගේ සෞඛ්‍ය හා ශාරීරික අධ්‍යාපන ක්‍රියාකාරකම් අඩු මට්ටමක පවතින බවයි.
මේ වන විට ඔස්ට්‍රේලියානු පාසල් සිසුන්ගෙන් සියයට 20ක් පමණ ශාරීරික ක්‍රියාකාරකම් මට්ටම් සපුරා තිබුණ ද ඔවුන් වැඩිහිටි යෞවනයන් බවට පත්වීමේදී එය සැලකිය යුතු ලෙස අඩු වන බවයි පැවසෙන්නේ.
ළදරු පාසලේ සිට 10 වසර දක්වා සිසුන් සතියකට විනාඩි 150ක ශාරීරික ක්‍රියාකාරකම් ලබා ගත යුතු වුවද, බොහෝ පාසල්වල එය සිදු නොවන බව පර්යේෂණ මගින් පෙනී ගොස් තිබෙනවා.
එම සංඛ්‍යාලේඛනවලට අනුව ඔස්ට්‍රේලියානු සිසුන් ශාරීරික ක්‍රියාකාරකම් අතින් ලොව අනෙක් සිසුන්ට සාපේක්ෂව පහළම මට්ටමක සිටින බව සඳහන්.
ශිෂ්‍ය ක්‍රියාකාරකම් මට්ටම් පිළිබඳ 2021 වසරේ සිට සිදු කරනු ලැබූ නවතම ජාත්‍යන්තර අධ්‍යයනයකදී ඔස්ට්‍රේලියාව රටවල් 146කින් 140 වැනි ස්ථානයට පත් වී තිබෙනවා.
මහාචාර්ය ඩේවිඩ් ලුබන්ස් පෙන්වා දෙන්නේ දෙමාපියන්, ගුරුවරුන් සහ ක්‍රීඩා සමාජ මගින් ළමයින් ක්‍රීඩාවේ ක්‍රියාශීලී කිරීමට කටයුතු කළ යුතු බවයි.
එමෙන්ම ප්‍රාථමික පාසල්වලටවිශේෂඥ ක්‍රීඩා ගුරුවරුන් පත් කිරීම ද සිසුන්ගේ අඩු ශාරීරික ක්‍රියාකාරකම් මට්ටම් යථා තත්වයට පත් කිරීම සඳහා එක් පිළියමක් වනු ඇතැයි මහාචාර්යවරයා ප්‍රකාශ කළා.