ඔස්ට්‍රේලියාවේ ජීවත් වන ජනගහණයෙන් අඩක් පමණ පිරිසක් සම හිරු රශ්මියෙන් ආරක්ෂා කර ගැනීමට පියවරක් නොගන්නා බවට නව සමීක්ෂණයකින් අනාවරණ වී තිබෙනවා.
අනෙක් පිරිස හිරුගේ පාරජම්බුල කිරණ උපරිමයෙන් පවතින කාලවලදී සම සූර්යයාට නිරාවරණය වීමෙන් ආරක්ෂා කර ගැනීමට ආරක්ෂණ ක්‍රම තුනක් හෝ වැඩි ගණනක් භාවිතා කරන බවයි නව දත්ත මගින් හෙළි වී ඇත්තේ.
පිළිකා කවුන්සිලයයේ අරමුදල් සහිතව ඔස්ට්‍රේලියානු සංඛ්‍යාලේඛන කාර්යාංශය විසින් පවත්වන ලද මෙම අධ්‍යයනය 2023 නොවැම්බර් මාසයේ සිට මෙම වසරේ පෙබරවාරි දක්වා සිදු කර තිබුණේ සුර්ය රශ්මියෙන් ආරක්ෂා වීමට පුද්ගලයින් 8500 කට වැඩි පිරිසක් ගන්නා පියවර ගැන අධ්‍යයනය කරමින්.
පර්යේෂනයට අනුව පිරිමින්ට වඩා කාන්තාවන් සුර්ය ආවරණ පැළඳීම (wearing sunscreen) සහ හිස්වැසුමක් පැළඳීම වැනි ක්‍රම තුනක් හෝ ඊට වැඩි ගණනක් අනුගමනය කිරීමේ වැඩි ඉඩක් ඇති බව සොයාගෙන තිබෙනවා.
පාරජම්බුල කිරණ උපරිම කාලවලදී ඔස්ට්‍රේලියාවේ එළිමහනේ විනාඩි 15කට වඩා ගත කරන පුද්ගලයන් සූර්යාගෙන් සම ආරක්ෂා කර ගැනීමේ පියවර තුනක් හෝ වැඩි ගණනක් ක්‍රියාත්මක කිරීමට වැඩි ඉඩක් ඇති බවයි සමීක්ෂණයෙන් අනාවරණ කරගෙන ඇත්තේ.
අධ්‍යාපනය සහ ආදායම් මට්ටම ද හිරු රැසින් ආරක්‍ෂා වීමේ ක්‍රියාමාර්ග ගැනීමට බලපාන බව අධ්‍යයනය මගින් හෙළි කරගෙන තිබෙනවා.
උපාධියක් හෝ ඊට වැඩි අධ්‍යාපනයක් සහිත ඔස්ට්‍රේලියානුවන්, 11 ශ්‍රේණිය හෝ ඊට පහළින් පාසල් අධ්‍යාපනය අවසන් කළ අයට වඩා හිරු රසින් ආරක්ෂා වීමේ ක්‍රියාමාර්ග ගැනීමට වැඩි ඉඩක් පවතින අතර සුර්ය රශ්මියෙන් බලපෑම් අඩු ප්‍රදේශවල ජීවත් වීමට ද තෝරා ගන්නා බවයි සඳහන් වන්නේ.
පිළිකා කවුන්සිලයේ චර්ම පිළිකා කමිටුවේ සභාපති මහාචාර්ය ඈන් කස්ට් පැවසුවේ බොහෝ ඔස්ට්‍රේලියානුවන් තවමත් හිරු එළියෙන් ආරක්ෂා වී නොමැති බව පර්යේෂණයෙන් පෙන්නුම් කරන බවයි.
සූර්‍යයාගේ පාරජම්බුල කිරණවලට අධික ලෙස නිරාවරණය වීම සමේ පිළිකා හටගැනීමේ ප්‍රධාන අවදානම් සාධකයක් වන අතර, හිරුට නිරාවරණය වීම සහ සමට සිදුවන හානිය ජීවිතයේ පසුකාලීනව සමේ පිළිකා ඇතිවීමේ වැඩි අවදානමකට තුඩු දෙන බවයි ඇය පෙන්වා දුන්නේ.
ඔස්ට්‍රේලියානු සෞඛ්‍ය හා සුභසාධන ආයතනයේ වාර්තා අනුව මෙම වසරේ 19,000 කට ආසන්න පිරිසක් මෙලනෝමා (melanoma) රෝගයෙන් පෙළෙන බවට හෙළිවී ඇති අතර ලොව ඉහළම චර්ම පිළිකා අනුපාතය ඇත්තේ ද ඔස්ට්‍රේලියාවේ බවයි සඳහන් වන්නේ.