ඔස්ට්‍රේලියාවේ රැකියා සඳහා බඳවා ගැනීමේ ප්‍රමුඛ පෙළේ සමාගමක් විසින් ජාතික හා ගෝලීය ශ්‍රම බලකාය රටට ගෙන්වා ගත හැකි නව රැකියා ප්‍රවණතාවක් පිළිබඳ පුරෝකථනයක් කර තිබෙනවා.
‘Chrono-working’ ලෙසට හැඳින්වෙන මෙම ක්‍රමවේදය ඔස්ට්‍රේලියානු ශ්‍රම බලකායේ විප්ලවීය වෙනසක් ඇති කරන නව රැකියා ප්‍රවණතාවයක් වනු ඇති බවයි පැවසෙන්නේ.
“Chrono-working” යනු එක්සත් රාජධානියේ ක්‍රියාත්මක නව සංකල්පයක් වන අතර එමඟින් සේවකයින්ට ඔවුන්ගේ නිදා ගැනීමේ ස්වාභාවික චර්යා රටාව මත පදනම්ව තම වැඩ කරන වේලාවන් තෝරා ගැනීමට ඉඩ සැලසෙනු ඇති.
මෙම ක්‍රමය එක්සත් රාජධානියේ මාධ්‍යවේදිනියක වන එලන් සී ස්කොට් විසින් නිර්මාණය කරන ලද අතර දැනට බ්‍රිතාන්‍ය සමාගම් ගණනාවක් විසින් අත්හදා බලමින් සිටින බවයි පැවසෙන්නේ.
එමෙන්ම රැකියාවේදී ලැබෙන මෙම සහනය පිළිබඳ ගූගල් සෙවීම් ද වසරින් වසර සියයට 600කින් ඉහළ යමින් පවතින බව ද සඳහන්.
රොබට් වෝල්ටර්ස් ඔස්ට්‍රේලියා හි (Robert Walters Australia) ප්‍රධාන විධායක නිලධාරී Shay Peters පැවසුවේ මෙම නව අදහස සමගින් ගෝලීය ශ්‍රම බලකාය සම්පූර්ණයෙන්ම ප්‍රතිනිර්මාණය කිරීමට සහ සීමා රහිත ආර්ථිකයක් නිර්මාණය කිරීමට හැකි වනු ඇති බවයි.
Shay Peters පෙන්වා දෙන්නේ මෙය කිසිදා නොදුටු ආකාරයේ ගෝලීය ශ්‍රම බලකායක් සඳහා ඇති අවස්ථාවන් විවෘත කරන බවයි.
රොබට් වෝල්ටර්ස් විසින් මෑතකදී කරන ලද සමීක්ෂණයක දී මෙරට සේවයේ නිරත වෘත්තිකයන්ගෙන් සියයට 42 ක් කියා සිටියේ මෙවැනි කාලසටහනක් යටතේ රැකියාවේ නිරත වීම මගින් තම මානසික සෞඛ්‍යය ද වැඩිදියුණු වනු ඇතැයි විශ්වාස කරන බවයි.
මීට අමතරව, තමන් වැඩ කරන වේලාවන් තෝරා ගැනීමට නිදහස තිබීම මගින් සේවයේ ඵලදායිතාව සහ අවධානය වැඩි කරන බව සියයට 39 ක් ප්‍රකාශ කර තිබෙනවා.