අද සවස් කාලය වන තෙක් වික්ටෝරියා ප්‍රාන්තයේ බොහෝ ප්‍රදේශවලට දැඩි සුළං තත්වයෙන් බලපෑම් එල්ලවනු ඇතැයි කාලගුණ විද්‍යා කාර්යාංශය පුරෝකථනය කර තිබෙනවා.
වික්ටෝරියා ප්‍රාන්තයේ නිරිතදිග වෙරළ තීරය සහ මෙල්බන්හි Wilsons Promontory දක්වා වෙරළ තීරය ආසන්න ජනතාවට විශේෂ අවධානයකින් පසුවන ලෙසටයි දැනුම්දී ඇත්තේ.
ඊයේ (01) සවස සිට පවතින අයහපත් කාලගුණය හේතුවෙන් සාමාන්‍යයෙන් පැයට කිලෝමීටර 60 සිට 70 දක්වා වේගවත් සුළං පවතිනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා.
ප්‍රාන්තයේ ඇතැම් ප්‍රදේශවලට පැයට කිලෝමීටර් 130ක පමණ තද සුළං ඇති විය හැකි බව හදිසි සේවා අංශ ප්‍රකාශ කර තිබූ අතර ප්‍රබලතම සුළං තත්වය මෙල්බන් නගරයට අද අලුයම 2 සිට 4 දක්වා පැමිණෙනු ඇති බවටයි ප්‍රකාශ කර තිබුණේ.
පසුගියදා නිවාස 600කට හානි කරමින් තවත් නිවාස 35,000කට වැඩි ප්‍රමාණයකට විදුලිය විසන්ධි කළ අයහපත් කාලගුණයෙන් සතියකට පමණ පසුව මෙම දැඩි සුළං තත්වය වාර්තා වී තිබෙනවා.
හදිසි කළමනාකරණ කොමසාරිස් රික් නුජෙන්ට් වික්ටෝරියා දන්වා සිටියේ තවදුරටත් විදුලිය ඇනහිටීම් සිදුවිය හැකි බවයි.
මෙවැනි තවත් සුළං තත්වයක් ලබන බදාදා පැමිණෙනු ඇතැයි අපේක්ෂා කරන අතර එමගින් මෙතරම් බලපෑමක් සිදු නොවනු ඇති බවටයි අපේක්ෂා කෙරෙන්නේ.
SES ප්‍රධාන නිලධාරි Tim Wiebusch පැවසුවේ පිහිනීම සහ මසුන් ඇල්ලීම ඉතා භයානක වනු ඇති අතර 2021 වසරෙන් පසු මෙවැනි දැඩි සුළං තත්වයක් මතුවූ පළමු අවස්ථාව මෙය බවයි.
වෙරළ ආසන්න ප්‍රදේශවල තත්වය අනතුරුදායක වනු ඇතැයි අපේක්ෂා කරන අතර රළ පහරට නිරාවරණය වන ප්‍රදේශවලින් සහ කඳු බෑවුම්වලින් ඉවත්ව සිටින ලෙසත් ජනතාවට අවවාද කර තිබෙනවා.
කාලගුණ විද්‍යා කාර්යාංශය පැවසුවේ අසාමාන්‍ය ලෙස ඇති වන රළ මීටර් අටක් තරම් උසට පැමිණිය හැකි බවයි.
එමෙන්ම මෙම දැඩි සුළං සහ වැසි තත්වය හේතුවෙන් නිවාසවල එළිමහනේ ඇති සැහැල්ලු භාණ්ඩ ආරක්ෂා කර ගන්නා ලෙසට ද ඉල්ලීමක් කෙරෙනවා.