ඔස්ට්‍රේලියානු සේවකයන්ට 2021/2 මූල්‍ය වර්ෂයේදී superannuation දීමනා ඩොලර් බිලියන 5.1 ක් ගෙවා නොමැති බව Super Members Council විශ්ලේෂණයක් මගින් හෙළි කර තිබෙනවා.
ඒ අනුව මිලියන තුනකට ආසන්න ඔස්ට්‍රේලියානුවන්ට එක් වසරක් තුළ ඩොලර් බිලියන ගණනක superannuation දීමනාවක් අහිමිවී ඇති අතර විශ්‍රාම යාමේදී සේවකයෙකුට අහිමි වී ඇති මුදලෙහි සාමාන්‍යය ඩොලර් 30,000 ක් පමණ බවයි වාර්තා වන්නේ.
Super Members Council (SMC) විසින් Australian Taxation Office (ATO) දත්ත සම්බන්ධ විශ්ලේෂණයක් මගින් හෙළි කර ඇත්තේ 2021-2022 මුල්‍ය වර්ෂය තුළ මිලියන 2.8ක් පමණ සේවකයන්ට ඔවුන්ගේ ඇතැම් නීතිමය හිමිකම් අහිමි වී ඇති බවයි.
එහි සමස්ත වටිනාකම ඩොලර් බිලියන 5.1ක් වන අතර 2021-2022 මුල්‍ය වර්ෂය තුළ සාමාන්‍යයෙන් එක් සේවකයෙකුට ඩොලර් 1800ක් පමණ මුදලක් හිමි වී නොමැති බව සඳහන්.
Super Members Council පවසන්නේ මෙය දීර්ඝ කාලීන ගැටළුවක් ලෙස පවතින අතර, තරුණයින්, අඩු වැටුප් සහිත කර්මාන්තවල සිටින කාන්තාවන් සහ අලුතින් සේවයට පැමිණි කම්කරුවන් වැනි කණ්ඩායම් මෙමගින් පීඩාවට පත්වන බවයි.
වසරකට ඩොලර් 25,000ට වඩා අඩු වැටුපක් ලබන තරුණ කම්කරුවන්ට මෙම superannuation නොලැබීමේ සම්භාවිතාව සියයට 50 ක් වැනි ඉහළ අගයක පවතිනවා.
ඉදිකිරීම්, වෙළඳාම් සහ ප්‍රවාහන කර්මාන්තවල සිටින සේවකයන්ට එමගින් බොහෝ දුරට බලපෑම් ඇති විය හැකි බවද වාර්තාව මගින් හෙළි කර තිබෙනවා.
SMC ප්‍රධාන විධායක මිෂා ෂුබර්ට් පැවසුවේ මෙම සංඛ්‍යාලේඛන මගින් අවධාරණය කරනු ලබන්නේ දැඩි නීති සහ ව්‍යවස්ථාදායක ප්‍රතිසංස්කරණවල අවශ්‍යතාවය බවයි.
2023-2024 ෆෙඩරල් අයවැය මගින් 2026 වසරේ ජූලි මාසයේ සිට වැටුප් ගෙවන ආකාරයෙන් එකවර superannuation ගෙවීමට රජය යෝජනා කර තිබෙනවා.
වැටුප් සමඟ superannuation ලබාදීමේදී වැරදි ලෙස ගෙවන ලද හෝ නැතිවූ superannuation මුදලක් දැන ඒ සඳහා පියවරක් ගැනීමට සේවකයින්ට මෙන්ම බදු කාර්යාලයට අවස්ථාවක් පවතිනු ඇති බවයි පැවසෙන්නේ.
කෙසේ වෙතත් මෙතෙක් ඊට අදාළ නීති පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර නැහැ.