ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ සියලුම පොදු ප්‍රවාහන සේවා සඳහා හඳුන්වා දෙනු ලැබූ ශත 50ක ගාස්තුව නොගෙවා ගිය මගීන් රැසකට දඩ නියම කර තිබෙනවා.
නව ගාස්තු ක්‍රමවේදය හඳුන්වා දී ගත වූ සති දෙක තුළ පමණක් ගාස්තු පැහැර හැරීමේ චෝදනා මත දඩ 475ක් නිකුත් කර ඇති බවයි වාර්තා වන්නේ.
ප්‍රාන්ත ප්‍රවාහන අමාත්‍ය බාර්ට් මෙලිෂ් මගීන්ගෙන් ඉල්ලා සිටින්නේ ගාස්තු අඩු කර ඇති පසුබිමක් තුල අදාළ මුදල ගෙවන ලෙසටයි.
ඇතැම් මගීන්ගේ වැරදි හැසිරීම් සම්බන්ධයෙන් කලකිරීමට පත් වන බව ද ඔහු ප්‍රකාශ කළා.
ට්‍රාන්ස්ලින්ක් (Translink) සමාගම සඳහන් කළේ ලබන වසරේ පෙබරවාරි මාසයේදී අවසන් වීමට මෙම ගාස්තු ක්‍රමවේදය අතරතුර ගාස්තු ගෙවීම පැහැර හරින්නන් සොයා නීතිමය පියවර ගන්නා බවයි.
ගාස්තු පැහැර හැරීමට අදාළව අනතුරු ඇඟවීම් 2,406 ක් වැඩිහිටි මගීන්ට ලබා දී ඇති අතර බාල වයස්කරුවන්ට අනතුරු ඇඟවීම් 1,576ක් ලබා දී තිබෙනවා.
ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්ත පොදු ප්‍රවාහනයේ ගාස්තු ගෙවීම පැහැර හැරීම සඳහා වන ස්ථානීය දඩය ඩොලර් 322ක් වන අතර ඒ අනුව සති දෙකක කාලයක් තුල ඩොලර් 150,000 කට වඩා දඩ මුදල් ලබාගෙන ඇති බවයි සඳහන් වන්නේ.
කෙසේවෙතත් ශත 50 ගාස්තු හඳුන්වා දුන් පළමු සති දෙක තුළ නිකුත් කෙරුණු දඩ සංඛ්‍යාව සාමාන්‍යයෙන් ඊට පෙර කාලයේ නිකුත් කරන ලද දඩ ප්‍රමාණයට වඩා අඩු සංඛ්‍යාවක් බව ද හෙළිවී තිබෙනවා.
2018-2019 සහ 2021-2022 යන වසර හතර තුළ ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්ත මගීන්ට ගාස්තු පැහැර හැරීම සඳහා දඩ 60,000 ක් පමණ ලබා දී තිබූ බව සඳහන්.
පසුගිය 5 වනදා සිට මාස හයක අත්හදා බැලීමේ කාලය අතරතුර, ට්‍රාන්ස්ලින්ක් ජාලයේ සියලුම පොදු ප්‍රවාහන සේවා ගාස්තු ශත 50කට සීමා කර තිබෙනවා.
මෙම ගාස්තු අත්හදා බැලීමේ දෙවන සතිය වන විට ප්‍රාන්තයේ මගීන් ට්‍රාන්ස්ලින්ක් ජාලයේ සංචාර මිලියන 3.6කට වඩා භාවිතා කර ඇති බවයි වාර්තා වන්නේ.
බස් රථවල ගමන් වාර මිලියන 2.2ක් සහ දුම්රියවල ගමන් වාර මිලියනයකට වඩා වැඩි ප්‍රමාණයක් ඊට අයත්.