2030 වසරේ සමලිංගික ක්‍රීඩා උළෙල (2030 Gay Games) පැවැත්වීම සඳහා යෝජිත නගර 7 අතරට මෙල්බන් නගරය ද එක්වී තිබෙනවා.
ලොව විශාලතම LGBTQ+ ක්‍රීඩා සහ සංස්කෘතික ඉසව්ව ලෙස ප්‍රකාශ කරන 2030 සමලිංගික ක්‍රීඩා උළෙලට සත්කාරකත්වය දැක්වීමට යෝජිත නගර හතෙන් එකක් ලෙසටයි මෙල්බන් නගරය මෙම ලැයිස්තුවට නම් කර ඇත්තේ.
2026 වසරේ මෙල්බන්හි පැවැත්වීමට යෝජිත වූ පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙළෙහි සත්කාරකත්වයෙන් ඉවත්වෙමින් එවක ප්‍රාන්ත අගමැති ඩැනියල් ඇන්ඩෲස් පැවසුවේ ඩොලර් බිලියන 2.6ක පිරිවැය ඩොලර් බිලියන 7 කට ආසන්න වීම ඊට ප්‍රධානතම හේතුව බවයි.
පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා යෝජනා ඉවත දමා මෙවැනි ක්‍රීඩා ඉසව්වක් පැවැත්වීමට වික්ටෝරියා රජය කැමැත්තෙන් පසුවීම පිළිබඳ විවේචන ද මතුවී තිබෙනවා.
මෙම තත්වය මත වික්ටෝරියා ප්‍රාන්ත බදු ගෙවන්නන්ට ඩොලර් මිලියන 589ක් වැය වනු ඇති බවටයි ගණනය කර ඇත්තේ.
කෙසේවෙතත් මෙය තවමත් මූලික අදියරේ පවතින ක්‍රියාවලියක් වන අතර සමලිංගික ක්‍රීඩා සඳහා උනන්දුවක් දක්වන කණ්ඩායම් විසින්ම මෙම නගර ලැයිස්තුව සකස් කර ඇති බව ද සඳහන්.
සෑම වසර හතරකට වරක් පැවැත්වෙන මෙම ක්‍රීඩා උළෙල 2023 වසරේදී අවසන් වරට පැවැත්වුණේ 5,000කට වැඩි පිරිසකගේ සහභාගිත්වයෙන් හොංකොං සහ මෙක්සිකෝවේ සම සත්කාරකත්වය සහිතවයි.
දින 10ක් පුරා පැවැත්වෙන ක්‍රීඩා තරගාවලිය විනෝදාස්වාදයෙන් පිරී ඇති අතර, ස්ත්‍රී පුරුෂ භාවය හෝ ලිංගිකත්වය නොසලකා ඕනෑම කෙනෙකුට සහභාගී වීමට අවස්ථාව පවතිනවා.
2030 වසරේ පැවැත්වෙන තරගාවලිය සඳහා සත්කාරකයින් ලෙස මෙල්බන්වලට අමතරව නවසීලන්තයේ ඕක්ලන්ඩ්, දකුණු අප්‍රිකාවේ කේප් ටවුන්, අමෙරිකාවේ කොලරාඩෝ හි ඩෙන්වර්, කැනඩාවේ එඩ්මන්ටන් සහ තායිවානයේ තායිපේ මෙන්ම පර්ත් නගරය ද එක්ව තිබෙනවා.
මෙම ක්‍රීඩා උළෙලේ සත්කාරකත්වය මෙල්බන් වෙත ලැබෙන්නේ නම් නව රැකියා දහස් ගණනක් නිර්මාණය වීම මෙන්ම ආර්ථිකයට ඩොලර් බිලියන 3.3ක අදායමක් ලැබෙනු ඇති බව සංචාරක, ක්‍රීඩා සහ ඉසව් පිළිබඳ අමාත්‍ය ස්ටීව් ඩිමොපොලස් සඳහන් කළා.
අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ ලද පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල වැනි නවතා දැමූ ඉසව් හා සසඳන විට සමලිංගික ක්‍රීඩා උළෙල ඉතා වෙනස් යෝජනාවක් බවයි.