බටහිර සහ දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්තවල අලුතින් විවාහ වන සංඛ්‍යාව ඉහළ යමින් තිබුණ ද අනෙකුත් ප්‍රාන්තවල විවාහ සංඛ්‍යාව පහත වැටීමක් පෙන්නුම් කෙරෙන බව නව සමීක්ෂණයකින් අනාවරණ වී තිබෙනවා.
කොවිඩ් වසංගතයෙන් පසු වාර්තා වූ ඉහළ විවාහ සංඛ්‍යාවට සාපේක්ෂව ප්‍රාන්ත දෙකක් හැර අනෙකුත් සියලුම ප්‍රාන්ත සහ ප්‍රදේශවල ලියාපදිංචි විවාහ සංඛ්‍යාවේ අඩුවීමක් වාර්තා වන බවයි නව සංඛ්‍යාලේඛනවලට අනුව හෙළිවී ඇත්තේ.
ඔස්ට්‍රේලියා සංඛ්‍යා ලේඛන කාර්යාංශයේ දත්ත අනුව පසුගිය වසරේ නොවැම්බර් 11 වනදා ඔස්ට්‍රේලියාවේ වැඩි වශයෙන් විවාහ සිදු වූ දිනය ලෙසට සටහන් වී ඇති අතර එදින විවාහ 1,799ක් වාර්තා වී තිබෙනවා.
ඔස්ට්‍රේලියානු සංඛ්‍යාලේඛන කාර්යාංශය හෙළි කළේ පසුගිය 2023 වසරේ මෙරට විවාහ 118,439ක් සිදුවී ඇති අතර එය 2022 වසරේදී වාර්තා වූ විවාහ 127,161ක ප්‍රමාණයෙන් සියයට 6.9ක පමණ අඩුවීමක් බවයි.
ඔස්ට්‍රේලියා අගනුවර සහ නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ලියාපදිංචි විවාහවල විශාල පහත වැටීමක් දක්නට ලැබෙන බව ද සඳහන්.
වික්ටෝරියා ප්‍රාන්තයේ විවාහ ලියාපදිංචිය සියයට 10.3කින් අඩු වී ඇති අතර 2022 වසරේ වාර්තා වූ විවාහ 33,231කට සාපේක්ෂව පසුගිය 2023 වසරේ වාර්තා වී ඇත්තේ විවාහ 29,816ක් පමණයි.
2023 දී ටස්මේනියා ප්‍රාන්තයේ ද ලියාපදිංචි විවාහයන් සියයට 11.2 කින් අඩු වී තිබෙනවා.
ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ 2022 වසරේ විවාහ 25,014ක් සිදුවී තිබූ අතර 2023 වසරේ සිදුවී ඇත්තේ විවාහ 23,826ක් පමණයි.
බටහිර සහ දකුණු ඔස්ට්‍රේලියාව ප්‍රාන්තවල මෙම ප්‍රවණතාවයේ වෙනසක් පෙන්නුම් කෙරෙන අතර එහි පිළිවෙලින් සියයට 16.8ක් සහ සියයට 7.1ක අගයකින් විවාහ ඉහළ ගොස් තිබෙනවා.
දකුණු ඔස්ට්‍රේලියාවේ පසුගිය 2023 වසරේ විවාහ 7,782ක් සිදුවී ඇති අතර එය 2022 දී සටහන්ව තිබුණේ විවාහ 7,268ක් ලෙසටයි.
බටහිර ඔස්ට්‍රේලියාව තුළ පසුගිය වසරේ විවාහ 13,120ක් සිදු කර ඇති අතර එය පෙර වසරේ විවාහ 11,237ක් ලෙසට වාර්තා වී තිබුණා.
මේ අතර ඔස්ට්‍රේලියානු සංඛ්‍යාලේඛන කාර්යාංශය පැවසුවේ පසුගිය 2023 වසරේ මෙරට දික්කසාද 48,700 ක් සිදුව ඇති අතර එය සියයට 1.1 ක අඩුවීමක් වන බවයි.