මෙල්බන් නගරය සහ අවට කලාපයේ මාර්ග නීති උල්ලංඝනය කරමින් රිය ධාවනය කරනු ලබන ට්‍රක් රථ රියදුරන් ඉලක්ක කර ගනිමින් වික්ටෝරියා පොලිසිය විශේෂ මෙහෙයුමක් සිදු කර තිබෙනවා.
මෙල්බන් වරාය පරිශ්‍රය ආසන්නයේ අනතුරුදායක ලෙස රිය පැදවීම වැළැක්වීම සඳහා සිදු කළ මෙම මෙහෙයුමේදී වැරදි කළ රියදුරන් රැසකට දඩ මුදල් නිකුත් කළ බවයි පොලිසිය සඳහන් කළේ.
ආසන පටි පැළඳ නොසිටීම, අධික වේගයෙන් රිය පැදවීම, මාර්ග නීතිවලට අනුගත නොවීම වැනි වැරදි සම්බන්ධයෙන් පසුගිය සතිය පුරා පොලිස් නිලධාරීන් මෙම ට්‍රක් රථ පරීක්‍ෂාවන් සිදු කර තිබෙනවා.
වික්ටෝරියා ජ්‍යෙෂ්ඨ පොලිස් කොස්තාපල් කාරා මූඩි (Cara Moody) ප්‍රකාශ කළේ මෑත කාලීනව ප්‍රදේශයේ හදිසි අනතුරු ඉහළ යාමත් සමග මෙම නීති බලාත්මක කිරීම වැඩි කළ බවයි.
ට්‍රක් රථ රියදුරන් අහඹු ලෙස මත්ද්‍රව්‍ය සහ මධ්‍යසාර පරීක්ෂාවට ලක් කර ඔවුන්ගේ වාහන ද පරීක්ෂාවට ලක් කර තිබෙනවා.
ට්‍රක් රථවල ප්‍රමාණය සහ රැගෙන යන බර හේතුවෙන් අනතුරුදායක බව වැඩි වීම මෙන්ම අනතුරකදී සැලකිය යුතු බලපෑමක් ඇති කළ හැකි බවයි පොලිසිය පෙන්වා දෙන්නේ.
අධික වේගයෙන් රිය පැදවීම, ජංගම දුරකථනය භාවිත කිරීම, බලපත්‍ර නොමැතිව රිය පැදවීම සහ බීමතින් රිය පැදවීම ඇතුළු වැරදි සම්බන්ධයෙන් පොලිසිය විසින් පසුගිය මැයි මාසයේ සිට දඩ විශාල ප්‍රමාණයක් නිකුත් කර ඇති බව ද සඳහන්.
පොලිසිය අනතුරු අඟවා ඇත්තේ මෙවැනි වැරදි කරන රියදුරන්ට නීතිමය පියවර ගැනීම සඳහා ඉදිරි මාසවලදී පොලිසිය සක්‍රීයව මාර්ගවල මුර සංචාරයේ යෙදෙන බවයි.