සිය නිවසේ ගෘහ සේවිකාවක ලෙස සේවය කළ කාන්තාවකට නියමිත වැටුප් සහ නිවාඩු ලබා නොදීම සම්බන්ධයෙන් වූ චෝදනාවට ඔස්ට්‍රේලියාවේ හිටපු ශ්‍රී ලංකා නියෝජ්‍ය මහ කොමසාරිස්වරිය වන හිමාලි අරුණතිලකට ඩොලර් 543,000ක දඩයක් නියම කර තිබෙනවා.
ඔස්ට්‍රේලියානු ෆෙඩරල් අධිකරණයක් විසිනුයි මෙම දඩ මුදල පනවා ඇත්තේ.
2015 වසරේ සිට 2018 වසර දක්වා හිමාලි අරුණතිලක ඔස්ට්‍රේලියාවේ නියෝජ්‍ය ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරිය ලෙස කටයුතු කරනු ලැබුවා.
එහිදී ඇයගේ නිවසේ සේවය කළ සේවිකාවකට නිසි පරිදි වැටුප් ගෙවා නොමැති බවටත් එමෙන්ම නියමිත පරිදි නිවාඩු ලබාදී නොමැති බවටත් අධිකරණය හමුවේ තහවුරු වී තිබුණා.
මෙම ශ්‍රී ලංකික සේවිකාව සතියේ දින හතේම උදෑසන 6 සිට රාත්‍රී 10 දක්වා සේවය කර ඇති අතර එම වසර 3ක කාලය තුළ ඇයට දින දෙකක් නිවාඩු ලබා දී ඇත්තේ කෑම සකස් කිරීමේදී අත පිළිස්සීම හේතුවෙන් පමණක් බවයි හෙළිවී ඇත්තේ.
අදාළ සියලු කරුණු සැලකිල්ලට ගැනීමෙන් අනතුරුව ෆෙඩරල් අධිකරණය විසින් හිමාලි අරුණාතිලක වෙත මෙම දඩ මුදල නියම කර තිබෙනවා.
මේ අතර රාජ්‍ය තාන්ත්‍රික නිලධාරිනියක වන හිමාලි අරුණතිලක සිදු කළ මෙම ක්‍රියාව වසන් කළ බවට ඔස්ට්‍රේලියානු ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුවට ද චෝදනාවක් එල්ලවී තිබෙනවා.
අධිකරණය හමුවේ අනාවරණ වි ඇත්තේ ශ්‍රී ලංකා නියෝජ්‍ය මහකොමසාරිස්වරිය සිදු කළ මෙම නීති විරෝධී ක්‍රියාව සම්බන්ධයෙන් දැනුවත්ව සිටියදී ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව එය අදාළ නීති අංශ වෙත දැනුම්දී නොමැති බවටයි.
මේ හා සමාන නඩු තීන්දුවක් පසුගිය වසරේදී ද ෆෙඩරල් අධිකරණයක් විසින් ලබාදෙනු ලැබුවා.
ඒ ඔස්ට්‍රේලියාවේ හිටපු ඉන්දීය මහකොමසාරිස්වරයෙකු වන නෞදීප් සුරි සිං යන අය විසින් 2015 සිට 2016 වසර දක්වා කාලය තුල සිය නිවසේ සේවය කළ අයෙකුට නිසි පරිදි වැටුප් නොගෙවීමේ චෝදනාවට අදාළවයි.