3G ජාලය සම්පූර්ණයෙන්ම වසා දැමීමට ගත් තීරණය තාවකාලිකව ප්‍රමාද කිරීමට Telstra සහ Optus සමාගම් පියවර ගෙන තිබෙනවා.
ඒ අනුව එම සමාගම් දෙකම 3G ජාලය සම්පුර්ණයෙන් අවහිර කිරීම ලබන ඔක්තෝබර් මස 28 වනදා දක්වා ප්‍රමාද කිරීමට තීරණය කර ඇති බවයි සඳහන් වන්නේ.
Telstra සමාගම පසුගිය ජුනි මස අවසානයේ ඔවුන්ගේ 3G සේවා අවසන් කිරීමට සැලසුම් කර තිබුණ ද 3G ජාලය නොමැති වීමත් සමග ඇතැම් 4G දුරකතනවලටද හදිසි ඇමතුම් (“000”) සේවා ක්‍රියාත්මක නොවන බවට සැලවීමත් සමග මෙම පියවර ගෙන ඇති බව සඳහන්.
Optus සමාගම ද සැප්තැම්බර් අගදී ඔවුන්ගේ 3G ජාලා අක්‍රිය කිරීමට නියමිත බව පාරිභෝගිකයින්ට දැනුම් දී තිබුණ ද 4G ජාලයට වන බලපෑම් අවම කිරීමේ අරමුණින් එම පියවර ප්‍රමාද කර ඇති බව සඳහන්.
තවද 3G ජාලා අවහිර කිරීමෙන් පසු තම දුරකථනය ක්‍රියා කරන්නේද නැද්ද යන්න පිළිබඳ පරික්ෂා කිරීමට ක්‍රමවේදයක් මෙතෙක් නොතිබු අතර ඒ සඳහා නව SMS ක්‍රමයක් ද හඳුන්වා දී තිබෙනවා.
ඒ අනුව ඕනෑම දුරකතනයකින් 3948 දුරකථන අංකයට SMS පණිවුඩයක් යොමු කිරීමෙන් දුරකතනයේ වත්මන් තත්වය පරික්ෂා කිරීමේ හැකියාව හිමිවනු ඇති.
iphone පාරිභෝගිකයින්ට ද 3G ජාලා ඇණහිටීමෙන් ගැටලු ඇතිවන බව සඳහන් කර ඇති අතර විශේෂයෙන් ඔස්ට්‍රේලියානුවන් විදේශ රටකදී iphone 11 මාදිලියේ දුරකතනයක් මිලදී ගෙන ඇත්නම් ඊට බලපෑමක් සිදු වනු ඇති බවයි පැවසෙන්නේ.
මෙවැනි ගැටලු හේතුවෙන් Telstra සහ Optus යන සමාගම් දෙකම 3G ජාලා වසා දැමීමට ගත් පියවර ඔක්තෝබර් 28 දක්වා ප්‍රමාද කර ඇති බව සඳහන්.