මෙල්බන් නගරය සහ අවට ප්‍රදේශවල නොසැලකිලිමත් ලෙසට රිය ධාවනය කරමින් මිනිස් ජීවිත අවදානමට ලක් කරන පුද්ගලයන් පිළිබඳ අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා.
මාර්ගවල ගමන් කරන අනෙකුත් වාහනවලට ද අවහිරයක් වන ආකාරයෙන් අධික ශබ්ධයෙන් නලා හඬවමින්, දේපළවලට ද හානි කරන රියදුරන්ගේ ජාලයක් අනාවරණය කරගෙන ඇති බවයි මාධ්‍ය වාර්තා සඳහන් කළේ.
වික්ටෝරියා ප්‍රාන්ත සහකාර පොලිස් කොමසාරිස්වරයා අවධාරණය කළේ මෙවැනි නොසැලකිලිමත් රියදුරන්ට දැඩි දඬුවම් ලබාදෙන බවයි.
මෙවැනි නොසැලකිලිමත් රිය ධාවනය හේතුවෙන් සිදු වූ රිය අනතුරු කිහිපයක් පිළිබඳව ද පොලිසිය කරුණු හෙළි කළ අතර මෙවැනි සිදුවීම් තුවාල හෝ මරණ වැනි ඛේදවාචකයකින් අවසන් විය හැකි බව පොලිසිය අවධාරණය කළා.
පසුගිය මාස කිහිපය තුළ මෙල්බන් අවට ප්‍රදේශවල මේ ආකාරයේ රිය ධාවනය කිරීමේ කණ්ඩායම් ඔවුන්ගේ හැකියාවන් ප්‍රදර්ශනය කිරීම සඳහා රහසිගත රැස්වීම් ද සංවිධානය කර ඇතැයි පොලිසිය හෙළි කරගෙන තිබෙනවා.
මෙල්බන් අවට නොසැලකිලිමත් ලෙස අවදානම් ආකාරයෙන් රිය ධාවනයට සම්බන්ධ පිරිසක් දැනටමත් පොලිස් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන්ගේ වාහන ද රාජසන්තක කර ඇති බව සඳහන්.