වික්ටෝරියා ප්‍රාන්තයේ කසළ ප්‍රතිචක්‍රීකරණ ක්‍රියාවලියේ සාර්ථකත්වය සදහා නව ප්‍රමීතින් හදුන්වා දිය යුතු බව ප්‍රවීණයින් දෙදෙනෙක් විසින් අවධාරණය කර තිබෙනවා.
ආචාර්ය Bhavna Middha සහ මහාචාර්ය Ralph Horne යන විශේෂඥයින් පෙන්වා දෙන්නේ ප්‍රතිචක්‍රිකරණය කළ හැකි අපද්‍රව්‍ය වෙන් කර හඳුනා ගැනීම සදහා කොටස් 4ක් යටතේ කසළ බඳුන් ප්‍රාන්තය පුරා ස්ථාපිත කළයුතු බවයි.
වික්ටෝරියා ප්‍රාන්තයේ කවුන්සිල 80කට ආසන්න ප්‍රමාණයක් පවතින අතර එහි අපද්‍රව්‍ය සඳහා සාමාන්‍ය කසළ, වීදුරු, ආහාර කාබනික ද්‍රව්‍ය සහ උද්‍යාන කාබනික ද්‍රව්‍ය යනුවෙන් වෙනම බඳුන් හතරක් ස්ථාපිත කළ යුතු බව ඔවුන් නිර්දේශ කර තිබෙනවා.
ඔස්ට්‍රේලියානුවන් 1000ක් යොදා ගනිමින් කරන ලද සමීක්ෂණයකදී සියයට 89ක් කියා සිටියේ ප්‍රතිචක්‍රීකරණ ක්‍රියාවලිය වැදගත් සහ අත්‍යාවශ්‍ය අංගයක් බවයි.
තමන් නිසි පරිදි ප්‍රතිචක්‍රීකරණ ක්‍රියාවලියට සහභාගී වන බව තවත් සියයට 74ක් ප්‍රකාශ කර තිබෙනවා.
කෙසේ වෙතත් වික්ටෝරියා ප්‍රාන්තයේ කසළ ප්‍රතිචක්‍රිකරණය සියයට 45ක් වන අතර ප්‍රතිචක්‍රීකරණය කළ හැකි ද්‍රව්‍යවලින් අඩකට වඩා වැඩි ප්‍රමාණයක් කසල ගොඩවල් වැනි වෙනත් අපද්‍රව්‍ය ප්‍රවාහවල පවතින බවයි විශේෂඥයින් පෙන්වා දෙන්නේ.
මීට අමතරව, වැරදි බඳුන්වලට අපද්‍රව්‍ය බැහැර කිරීම් වැනි හේතු ද ඊට බලපා තිබෙනවා.
මෙම අඩුපාඩු මගහරවා ගැනීම සඳහා එක් එක් අපද්‍රව්‍ය බැහැර කිරීම සදහා විවිධ වර්ණයෙන් යුත් කසල බඳුන් ජනතාවට හුරුකළ යුතු බවටයි යෝජනා ඉදිරිපත් වී ඇත්තේ.