මත්පැන් නිෂ්පාදනයට යොදා ගැනෙන ස්ප්‍රීතු සඳහා වූ බද්ද යළි වැඩි කිරීමත් සමග ඇතැම් මත්පැන් නිෂ්පාදනවල මිල ගණන් ද ඉහළ යාමට නියමිත බව වෙළඳපොල විශ්ලේෂකයන් පවසනවා.
නව සංශෝධනයත් සමග ස්ප්‍රීතු ලීටරයකට බද්ද ඩොලර් 103.89ක් වන අතර එය ලෝකයේ තුන්වන ඉහළම බදු අගයක් ලෙසටයි සැලකෙන්නේ.
මෙම තත්වය මත මත්පැන් ස්කාගාර, අලෙවිසැල් මෙන්ම පාරිභෝගිකයන් ඇතුලු සියලු පාර්ශවවලට බලපෑම් එල්ලවනු ඇති බව සඳහන්.
වික්ටෝරියා ප්‍රාන්තයේ ඇතැම් බියර් නිෂ්පාදකයන් සඳහන් කර ඇත්තේ 2015 පැවති ප්‍රමාණයට වඩා මේ වන විට ලීටරයකට ඩොලර් 25ක් බදු මුදල් වැඩි වී ඇති බවයි.
බදු වැඩිවීම් හේතුවෙන් තම ව්‍යාපාර පවත්වා ගැනීම වඩාත් දුෂ්කර වෙමින් පවතින අතර ඒවා සැලසුම් කිරීමට ද නොහැකි බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.
මෙම තත්වය මත මත්පැන්වල මිල වැඩි කිරීමෙන් මෙම වියදම් පියවා ගැනීම හැර වෙනත් විකල්පයක් නොමැති බව ද නිෂ්පාදකයන් ප්‍රකාශ කර තිබෙනවා.
ඔස්ට්‍රේලියාවේ පැවති රජය මෙන්ම වත්මන් රජයන් යටතේ COVID-19 වසංගතය ආරම්භයේ සිට සියයට 20කට වඩා මත්පැන් සම්බන්ධ බදු ඉහළ නංවා ඇති බව සඳහන්.
මෙම වැඩිවීම් මගින් රජයට තවත් මුදල් එකතු වනු ඇතැයි විශ්වාස නොකරන අතර මත්පැන් පානය කරන්නන්ට සහ Pubs ඇතුලු සමාජ ශාලාවලට එමගින් හානියක් සිදුවන බව ඒවායෙහි හිමිකරුවන් පෙන්වා දෙනවා.
මෙම බදු වැඩිවීම් හමුවේ බොහෝ ඔස්ට්‍රේලියානුවන්ට මත්පැන් යනු දැරිය නොහැකි සුඛෝපභෝගී භාණ්ඩයක් බවට පත් වීමට පෙර පියවරක් ගන්නා ලෙසටයි ඔවුන් රජයෙන් ඉල්ලා සිටින්නේ.