ඔස්ට්‍රේලියාවේ සංක්‍රමණික සේවකයන්ට අඩු වැටුප් ගෙවීම් සම්බන්ධයෙන් චෝදනා එල්ල වූ අවන්හල් සමාගමකට වාර්තාගත දඩ මුදලක් නියම කර තිබෙනවා.
සංක්‍රමණික කම්කරුවන්ට වාර්ෂික නිවාඩු ගෙවීම් ඇතුළු දීමනා සමාගම විසින් හිතාමතාම නොගෙවා ඇති බවට හෙළිවීමෙන් අනතුරුව ෆෙඩරල් අධිකරණය විසින් සුෂි බේ සමූහ ව්‍යාපාරයට (Sushi Bay group companies) නියෝග කර ඇත්තේ ඩොලර් මිලියන 13.7 ක දඩ මුදලක් ගෙවන ලෙසටයි.
සමාගමේ ප්‍රධානියාට පෞද්ගලිකව ඩොලර් මිලියන 1.6ක දඩ මුදලක් ෆෙයා වර්ක් ඔම්බුඩ්ස්මන් (Fair Work Ombudsman) වෙත ගෙවන ලෙස නියෝග කරන ලද අතර එම අරමුදල් අඩු වැටුප් ලබන සේවකයන්ට බෙදා දීමට නියමිතයි.
Sushi Bay සමාගම්වල කම්කරුවන්ට වැටුප් ගෙවීමේදී ඩොලර් 650,000 කට වඩා මුදලක් වංචා කර ඇති අතර සේවකයින් 163 දෙනෙකු ඩොලර් 50 සිට ඩොලර් 84,000 දක්වා පාඩු විඳිමින් සිටින බවයි අධිකරණ වාර්තාවල දැක්වෙන්නේ.
ෆෙඩරල් අධිකරණ විනිසුරුවන් හෙළි කරගෙන ඇත්තේ සුෂි බේ සමාගම තම සේවකයින්ට දීමනා රැසක් ගෙවීමට අපොහොසත් වූ බවයි.
අඩු වැටුප් ලබන සේවකයින්ගෙන් බහුතරයක් තාවකාලික වීසා මත සිටි අය වන අතර ඔවුන්ගෙන් වැඩි ප්‍රමාණයක් වයස අවුරුදු 25ට අඩු අය බව සඳහන්.
ෆෙයා වර්ක් ඔම්බුඩ්ස්මන් ඇනා බූත් පැවසුවේ අවදානමට ලක්විය හැකි සංක්‍රමණික කම්කරුවන් ඇතුළු සේවකයන් හිතාමතාම සූරාකෑම ඔස්ට්‍රේලියාව හෙළාදැකිය යුතු හැසිරීමක් බවයි.
සංක්‍රමණික සේවකයින්ට බලපාන මෙවැනි නීති උල්ලංඝනයන් සම්බන්ධ සිදුවීම් බරපතල ලෙස සලකන අතර ඔවුන්ගේ අයිතිවාසිකම් පිළිබඳ දැනුවත්භාවයක් නොමැතිකම හෝ පැමිණිලි කිරීමට ඇති අකමැත්ත වැනි සාධක හේතුවෙන් ඔවුන් අවදානමට ලක්විය හැකි වීම ඊට හේතුව බව ඇය අවධාරණය කළා.