ලෙබනනයේ සිටින ඔස්ට්‍රේලියානුවන්ට වහාම පිටව යන ලෙසට නවතම අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා.
බොහෝ වාණිජ ගුවන් ගමන් අවලංගු කර ඇති අතර මේ වන විට ඇමරිකා එක්සත් ජනපදය ලෙබනනය සහ ඒ අවට කලාපය තුළ සිය හමුදා කණ්ඩායම් වැඩි වශයෙන් යොදවා ඇති බවයි සඳහන් වන්නේ.
විදේශ කටයුතු අමාත්‍ය පෙනී වොන්ග් (Penny Wong) ඔස්ට්‍රේලියානුවන්ගෙන් ඉල්ලා සිටියේ සෘජුවම ඔස්ට්‍රේලියාවට පැමිණීමේ මාර්ගයක් නොවුන ද පවතින ඕනෑම විකල්පයක් යොදා ගනිමින් රටින් ඉවත් වන ලෙසටයි.
වාණිජ ගුවන් ගමන් පවතින අතරතුර ලෙබනනයේ සිටින ඔස්ට්‍රේලියානුවන් වහාම පිටව යා යුතු බව අමාත්‍යවරිය අවධාරණය කර තිබෙනවා.
ලෙබනනයේ ගැටුම්කාරී තත්වය උද්ගත වී ඇත්තේ හමාස් දේශපාලන ප්‍රධානියා වන ඉස්මයිල් හනියේ ඉරානයේදී සහ ඉහළ හිස්බුල්ලා අණදෙන නිලධාරියෙකු ලෙබනනයේදී ඝාතනය කිරීමත් සමගයි.
පසුගිය සතියේ ෆෙඩරල් රජයේ වෙබ් අඩවියක් වන Smart Traveler විසින් ද ඔස්ට්‍රේලියානුවන්ට අනතුරු අඟවා තිබුණේ ලෙබනනයේ ආරක්‍ෂක තත්ත්වය ශීඝ්‍රයෙන් පිරිහීමට ලක්විය හැකි බැවින් කලාපයෙන් ඉවත් වන ලෙසයි.
ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය සහ ප්‍රංශය ද තම පුරවැසියන්ට ලෙබනනය හැර යන ලෙස දැනුම් දී තිබෙනවා.