ඔස්ට්‍රේලියාවේ ත්‍රස්තවාදී තර්ජන මට්ටම ඉහළ නංවන බව ෆෙඩරල් රජය අද නිවේදනය කර තිබෙනවා.
අද පෙරවරුවේ පැවති ජාතික ආරක්ෂක කමිටුව සහ කැබිනට් රැස්වීමෙන් අනතුරුව අග්‍රාමාත්‍ය ඇන්තනි අල්බනිස් විසිනුයි මෙම පියවර ප්‍රකාශයට පත් කළේ.
මෙරට ප්‍රජාවන් අතර උග්‍ර ආතතිය හේතුවෙන් ත්‍රස්ත අවදානම ඉහළ ගොස් ඇති බව අගමැතිවරයා ප්‍රකාශ කර තිබෙනවා.
ප්‍රජා ආතතීන් හේතුවෙන් දේශපාලනික වශයෙන් ප්‍රචණ්ඩත්වයේ වැඩි අවදානමක් පැවතීම හමුවේ ත්‍රස්ත තර්ජන මට්ටම ඉහළ ගොස් ඇති බවයි අගමැතිවරයා සඳහන් කළේ.
ජාතික ආරක්ෂක කමිටු රැස්වීමෙන් පසුව ඔහු මෙම ආරක්ෂක පියවර සම්බන්ධයෙන් තහවුරු කළේ එය එක් විශේෂිත සිදුවීමක් නිසා ගනු ලැබූ එකක් නොවන බව ද ප්‍රකාශ කරමින්.
ඔස්ට්‍රේලියානුවන් මේ වන විට විවිධාකාර වූ ආන්තික මතවාදයන් වැලඳ ගනිමින් සිටින බවට ඔස්ට්‍රේලියානු ආරක්ෂක බුද්ධි සංවිධානයේ තොරතුරු අනුව තහවුරු වී ඇති බව ද අගමැති ඇන්තනි ඇල්බනිස් අවධාරණය කළා.
සුපරීක්ෂාකාරීව සිටීම සියලු දෙනාගෙන් වගකීමක් වන අතර මෙම තර්ජන මට්ටම ඉහළ නැංවීම මගින් ආසන්න තර්ජනයක් හෝ අනතුරක් පිළිබඳ අදහස් නොකරන බව ද ඔහු සඳහන් කළා.
ඔස්ට්‍රේලියානු ආරක්ෂක බුද්ධි සංවිධානයේ අධ්‍යක්ෂ Mike Burgess පැවසුවේ රටේ ආරක්ෂක තත්වය අස්ථාවර සහ අනපේක්ෂිත වී ඇති බවයි.
බොහෝ ඔස්ට්‍රේලියානුවන් රැඩිකල්කරණයට ලක්වෙමින් පවතින අතර ඇතැමුන් තම අරමුණු ඉදිරියට ගෙනයාම සඳහා ප්‍රචණ්ඩත්වය භාවිතා කිරීමට කැමැත්තෙන් සිටින බවයි ඔහු පෙන්වා දුන්නේ.
දේශපාලනිකව සම්බන්ධතා සහිත ප්‍රචණ්ඩත්වය මෙරට ප්‍රධාන ආරක්ෂක අවදානමක් වන අතර එවැනි ඕනෑම ප්‍රචණ්ඩ ක්‍රියාවක් හෝ තර්ජනයක් සම්බන්ධයෙන් අවධානයෙන් පසුවන බව බුද්ධි සංවිධානයේ අධ්‍යක්ෂවරයා අවධාරණය කර තිබෙනවා.