නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ ජංගම දුරකථන භාවිතා කරමින් රිය ධාවනය කරන රියදුරන් හඳුනා ගැනීම සඳහා සවි කරනු ලැබූ කැමරාවලට තවත් වැරදි කිහිපයක් සම්බන්ධයෙන් අනාවරණ වී තිබෙනවා.
ආසන පටි නොපැළඳීම, කුඩා දරුවන් අනාරක්ෂිතව ඉදිරිපස අසුනේ රැගෙන යාම වැනි වැරදි රැසක් වන බවයි ප්‍රාන්ත රජය අද ප්‍රකාශ කළේ.
රිය ධාවනය අතර ළදරුවන් ඉදිරිපස අසුනේ තබාගෙන ආහාර ලබාදීම නිව් සවුත්වේල්ස් මාර්ගවල කැමරා මගින් අනාවරණය වන භයානක වරදක් බව රජය සඳහන් කර තිබෙනවා.
මෙම ආරක්‍ෂිත කැමරා පද්ධතිය ආරම්භ කර ගත වූ පළමු දින 21 තුළ රියදුරන්ට නිකුත් කරන ලද දඬුවම් 11,400න් හතරෙන් තුනක්ම ආසන පටි සම්බන්ධ වැරදි බවයි ප්‍රාන්ත රජය කියාසිටියේ.
ආසන පටි නොපැළඳීමේ වරදට ඩොලර් 410ක දඩයක් සහ Demerits Points තුනක් ද හිමි වනු ඇති.
ජංගම දුරකථන හඳුනාගැනීම සඳහා ස්ථාපිත කළ කැමරා ජාලය මගින් ආසන පටි සම්බන්ධ වැරදි සෙවීම ආරම්භ කරනු ලැබුවේ පසුගිය ජූලි මස පළමු වනදා සිටයි.
2023 දී පොලිසිය විසින් නිකුත් කරන ලද සමස්ත දඩ මුදල් ප්‍රමාණයට වඩා සති තුනක කාලයක් තුළ කැමරා තාක්‍ෂණයෙන් වැරදි හඳුනාගෙන තිබීම විශේෂත්වයක්.
නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ මාර්ගවල පරීක්ෂා කරන ලද වාහන මිලියන 8.3කින් සෑම 700කින් එකටම එකකට දඩ මුදලක් නිකුත් කර තිබෙනවා.