මෙල්බන් අවට පැතිර යන ලීජනෙයාරිස් (Legionnaires) නම් නියුමෝනියා රෝගය වැළඳුණු 71 දෙනෙකු මේ වන විට රෝහල් ගතව ප්‍රතිකාර ලබන බව වික්ටෝරියා සෞඛ්‍ය අංශ පවසනවා.
ඊයේ මෙම රෝගයෙන් සිදු වූ පළමු මරණය ද වාර්තා වූ අතර එලෙස මියගියේ 90 හැවිරිදි කාන්තාවක්.
වික්ටෝරියා ප්‍රාන්ත සෞඛ්‍ය බලධාරීන් පවසන්නේ මෙල්බර්න් හි උතුරු සහ බටහිර ප්‍රදේශවල ලීජනෙයාරිස් (Legionnaires) රෝගය පැතිර යමින් ඇති බවයි.
ජුලි 26 වන සිකුරාදා සිට තහවුරු කර ඇති රෝගීන් 71ක් සහ සැක සහිත රෝගීන් 7ක් වාර්තා වී ඇති අතර බොහෝ ආසාදිතයන් වයස අවුරුදු 40ට වැඩි පුද්ගලයන් බව සඳහන්.
වික්ටෝරියා ප්‍රාන්ත ප්‍රධාන සෞඛ්‍ය නිලධාරි ක්ලෙයාර් ලුකර් ප්‍රකාශ කළේ මෙම රෝග ව්‍යාප්තියේ මූලාශ්‍රය මෙල්බර්න් හි ලැවර්ටන් නෝර්ත් සහ ඩෙරිමට් ප්‍රදේශයේ ජල පද්ධතියකට සම්බන්ධ බවට සැක කෙරෙන බවයි.
ඒ හේතුවෙන් ප්‍රදේශයේ ජල පිරිපහදු පද්ධති විෂබීජහරණයට ද පියවර ගෙන තිබෙනවා.
මේ අතර ලීජනෙයාරිස් රෝගී තත්වයේ රෝග ලක්ෂණ සහිත පුද්ගලයන් සිටින්නේ නම් වහාම හදිසි වෛද්‍ය ප්‍රතිකාර ලබා ගන්නා ලෙස වික්ටෝරියා ප්‍රාන්ත අගමැතිනි ජසින්තා ඇලන් දැනුම් දීමක් සිදු කර තිබෙනවා.
පපුවේ ආසාදනය, සිරුරේ වේදනාව, හිසරදය, උණ, කැස්ස වැනි රෝග ලක්ෂණ පවතින අතර විශේෂයෙන් ප්‍රතිශක්තිකරණය අඩු වයෝවෘද්ධ පුද්ගලයින් සහ දුම් පානය කරන්නන්ට ආසාදනය වීමේ වැඩි අවදානමක් පවතින බවයි සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ.