නිවාස මිල පහත වැටීමක් දක්නට ලැබෙන එකම ඔස්ට්‍රේලියානු ප්‍රාන්ත අගනුවර මෙල්බන් බවට නව සමීක්ෂණයකින් අනාවරණ වී තිබෙනවා.
වික්ටෝරියා ප්‍රාන්තයේ අගනගරය වන මෙල්බන් අනෙක් ප්‍රදේශවලට වඩා නිවාස මිල සම්බන්ධයෙන් වෙනස් මාවතක ගමන් කරන බවයි විචාරකයන් පෙන්වා දෙන්නේ.
PropTrack හි නවතම වාර්තාවට අනුව මෙල්බන් නිවාස මිල ගණන් 2022 වසරේ පැවති ඉහළම අගයන්ට වඩා සියයට 4.4ක පමණ අඩු වීමක් පෙන්නුම් කෙරෙන අතර මෙම ජූලි මාසයේදී නිවාස මිල සියයට 0.21කින් පහත වැටී තිබෙනවා.
CoreLogic දත්තවලට අනුව ජුලි මාසයේ දී දේපළ සාමාන්‍ය මධ්‍ය අගයෙහි පහත වැටීමක් පෙන්නුම් කළ එකම ප්‍රධාන නගරය මෙල්බන් වූ අතර නිවාස මිල ගණන් ඩොලර් 781,949 දක්වා දිනකට ඩොලර් 100කින් පමණ පහත වැටී ඇති බවයි සඳහන් වන්නේ.
කෙසේවෙතත් ඇඩිලේඩ් නිවාස මල සාමාන්‍යයෙන් දිනකට ඩොලර් 440 කින් පමණ ඉහළ ගොස් ඇති අතර, මෙම ප්‍රවණතාවය අඛණ්ඩව පැවතුනහොත් මේ මාසයේ මෙල්බන් නිවාස මිල අභිබවා යනු ඇති බව විචාරකයන් පෙන්වා දෙනවා.
පර්ත් නගරයේ නිවාස මිල ජූලි මාසයේදී සියයට 2ක වැඩි වීමක් පවතින අතර එය තවත් මාසයක් පමණ අඛණ්ඩව පැවතුනහොත්, 2015 න් පසු පළමු වරට මෙල්බන් පසුකර යන අවස්ථාව වනු ඇති.
කොවිඩ් වසංගතය ආරම්භ වූ 2020 වසර ආරම්භයේ සිට මෙල්බන් නිවාස මිල ගණන් ඩොලර් 75,000කින් පමණ ඉහළ ගොස් ඇති අතර සිඩ්නි නිවාස මිල ගණන් ඩොලර් 262,000ක් පමණ දක්වා ඉහළ ගොස් ඇති බවයි CoreLogic දත්ත පෙන්වා දෙන්නේ.