
දකුණු ඔස්ට්‍රේලියාවේ ගිෆෝර්ඩ් හිල් (Gifford Hill) ප්‍රදේශයේ නිවාස දහස් ගණනක් සහ පාසල් ඇතුලු අත්‍යවශ්‍ය සේවා සහිත ප්‍රධාන නගරයක් ඉදි කිරීමට සැලසුම් කර තිබෙනවා.
ඉතිහාසයේ විශාලතම සංවර්ධන වැඩසටහනක් වන එමගින් පුද්ගලයින් 44,000ක් වෙනුවෙන් නව නිවාස 17,100 ක්, නාගරික සංකීරණයක් සහ පාසල් හතක් ඇතුළත් වනු ඇති.
ඇඩිලේඩ් හි නැගෙනහිර ප්‍රදේශයෙන් මේ සඳහා ඉඩම් ලබා ගැනෙන අතර දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්තයේ දෙවන ප්‍රධාන නගරයක් ලෙසට එය නිර්මාණය කර සංවර්ධනය කරන බව සඳහන්.

ගිෆෝර්ඩ් හිල් ප්‍රදේශයේ හෙක්ටයාර 1860ක භුමි ප්‍රදේශයේ නිවාස සඳහා වන බිම් කොටස් ලබන වසරේ අලෙවියට ඉදිරිපත් කිරීමටයි සංවර්ධන සමාගමේ අපේක්ෂාව වී ඇත්තේ.
ඉදිරි වසර 40 තුළ ව්‍යාපෘතිය සම්පූර්ණයෙන් අවසන් වන විට පුද්ගලයින් 44,000ක් පමණ ප්‍රදේශයේ ජීවත් වනු ඇති බවට අපේක්ෂිතයි.

එමෙන්ම නව නගරයේ ඉදිකිරීම් අතරතුර රැකියා 7200කට වැඩි ප්‍රමාණයක් නිර්මාණය කෙරෙන අතර, පිටතින් පිහිටි ව්‍යාපාරවල තවත් රැකියා 5200ක් නිර්මාණය වන බව සඳහන්.
ඉදිරි වසර 20 තුළ ජනගහණය වැඩි වනු ඇති බවට වන අනාවැකි මත පදනම්ව මරේ බ්‍රිජ් (Murray Bridge) ප්‍රදේශය මෙම දෙවන නගරයේ ඉදි කිරීම් සඳහා යොදාගෙන තිබෙනවා.