ඉදිරි වසරවලදී ඔස්ට්‍රේලියාව තුළ අලිගැට පේර මිල අඩු මට්ටමක පවතිනු ඇති බවට වෙළඳපොල විශ්ලේෂකයන් පුරෝකථනය කර තිබෙනවා.
ඔස්ට්‍රේලියාවේ පලතුරු බහුල වීම හමුවේ ඉදිරි වසරවලදී මිල ගණන් අඩු මට්ටමක පවතිනු ඇති බවටයි නව පර්යේෂණ මගින් අනාවැකි පළ කර ඇත්තේ.
මෙම වසරේ වාර්තාගත ලෙස අලිගැට පේර ටොන් 139,000ක් පමණ අස්වැන්නක් අපේක්ෂා කෙරෙන අතර එම සංඛ්‍යා අනාගතයේ දී තවදුරටත් වර්ධනය වනු ඇති බව කෘෂි ව්‍යාපාර විශේෂඥ වාර්තාවක් පවසනවා.
ජීවන වියදම් අර්බුදයකට මුහුණ දෙන පාරිභෝගිකයින්ට මෙය සුබ පණිවුඩයක් වන අතර මේ වන විට වගා කරන ලද හෙක්ටයාර 4000 ක ඵලදාව ලැබෙන විට ඉදිරි වසර පහ තුළ ගොවීන්ට අතිරික්ත අර්බුදයකට මුහුණ දීමට සිදු වනු ඇති බවයි පැවසෙන්නේ.
ඔස්ට්‍රේලියාවේ වෙළඳසල්වල අලිගැට පේර සඳහා ඇති ඉල්ලුම ඉහළ මට්ටමක පවතින අතර තොග මිල අඩු මට්ටමක පවතින බව හෙළිවී තිබෙනවා.
ඔස්ට්‍රේලියාවේ සමස්ත අලිගැට පේර නිෂ්පාදනයෙන් සියයට 13ක් පමණ අපනයන කෙරෙන අතර හොංකොං, සිංගප්පූරුව සහ මැලේසියාව ප්‍රධාන වෙලඳපොලවල් ලෙස පවතිනවා.