ඔස්ට්‍රේලියාවේ මාර්ගවල සිදු වන රිය අනතුරු මරණ සංඛ්‍යාව වසර 12ක පමණ කාලයක් තුළ වාර්තාගත ලෙසට ඉහළ ගොස් ඇති බව නව දත්ත මගින් අනාවරණ වී තිබෙනවා.
මරණ සංඛ්‍යාව ඉහළ යාම හමුවේ නව රියදුරු බලපත්‍ර ලාභීන්ට ප්‍රථමාධාර සඳහා පුහුණුවක් ලබාදිය යුතු බවටයි යෝජනා ඉදිරිපත් වී ඇත්තේ.
ඔස්ට්‍රේලියානු මෝටර් රථ සංගමය විසින් ඊයේ අනාවරණය කරන ලද නව දත්තවලට අනුව වසර 12කට පමණ පසු මෙරට රිය අනතුරු සම්බන්ධයෙන් භයානකම මාස 12ක් වාර්තා වී ඇති බව සඳහන්.
මෙම වසරේ ජූනි මස 30 වනදා දක්වා ගතවූ මාස 12ක කාලය තුළ ඔස්ට්‍රේලියාවේ මාර්ග අනතුරු මරණ 1,310ක් වාර්තා වී ඇති අතර එය පෙර වසරේ මාස 12ට වඩා සියයට 11.7ක වැඩිවීමක් වනවා.
නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ පමණක් මරණ සියයට 23කින් ඉහළ ගොස් ඇති අතර වික්ටෝරියා සහ ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තවල මරණ සංඛ්‍යාව පිලිවෙලින් සියයට නවයකින් සහ සියයට 8.4කින් ඉහළ ගොස් තිබෙනවා.
මෙම තත්වය මත ගිලන් රථ සේවා ප්‍රාන්ත රජයන්ගෙන් ඉල්ලා ඇත්තේ ප්‍රථමාධාර අධ්‍යාපනය රියදුරු පුහුණුවේ අනිවාර්ය අංගයක් බවට පත් කරන ලෙසයි.
රිය අනතුරකින් පසු පළමු මිනිත්තු තුනේ සිට පහ දක්වා කාලය තීරණාත්මක වන අතර ප්‍රථමාධාර මගින් මරණ හෝ ඇතැම් බරපතල රෝගී තත්වයන් අඩු වී ඇති බව ගිලන් රථ සංසදය පෙන්වාදී තිබෙනවා.
ප්‍රථමාධාර සහ කෘතීම ශ්වසනය ලබාදීමේ පුහුණුවේ වැදගත්කම මෙමගින් පෙන්නුම් කෙරෙන අතර සිහිසුන් පුද්ගලයෙකුගේ නිකට එසවීමේ සරල ක්‍රියාව මගින් ඔවුන්ගේ අවහිර වූ ශ්වසන මාර්ග යථා තත්වයට පත් කිරීමට ප්‍රමාණවත් වන බවයි ගිලන් රථ බලධාරීන් සඳහන් කළේ.